පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දහම් පාසල් සහ කිතුණු දේව මෙහෙයන් අද ඇරඹේ

Sunday, 12 May 2019 - 7:29

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
කොළඹ ක්‍රිස්තියානි දේවස්ථානවල ඉරිදා දේව මෙහෙයන් අද සිට යළි ආරම්භවනවා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ මෙලෙස දේව මෙහෙයන් ආරම්භ කිරීමට අවශ්‍ය සැළසුම් සකස් කර ඇති බවයි.

එසේම, පවතින ආරක්ෂක තත්ත්වය සලකා බලා ලබන 14 වනදා කතෝලික පාසල් විවෘත කිරීමට අදහස් කරන බවත්, ගැටලූවක් මතුවුවහොත් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය අවසන්වනතුරු පාසල් වසා දමන බවත් උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළා.  

මේ අතර පෙර දැනුම් දුන් පරිදි අද දිනයේ දහම් පාසල් ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි දහම් පාසල් කටයුතු භාර කොමසාරිස් එච්.එම්. කුමාරි කියා සිටියේ විහාරස්ථානවල ආරක්ෂාව පිළිබද අවශ්‍ය පියවර ගන්නා ලෙස සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් සියළු විහාරස්ථාන වෙත මේ වන විටත් ලිඛිතව දැනුම් දී ඇති බවයි.  

විශ්වවිද්‍යාලවල ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් උපකුලපතිවරයා සෑහීමකට පත්වන්නේ නම් හෙටින් පසු සියලූම රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කිරීම සඳහා අදාළ ආයතන වෙත බලය පවරා තිබෙනවා.

විශ්වවිද්‍යාල කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන දින සහ එහි ක්‍රමවේදය පිළිබඳව තීරණය කිරීමට උපකුලපතිවරුන්ට හැකියාව පවතින බවයි.

එමෙන්ම, ප්‍රාථමික අංශය සඳහා රජයේ පාසල්වල දෙවන වාරයේ අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර සඳහන් කළා.

හයවන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා පන්තිවල දෙවන වාරයේ අධ්‍යයන කටයුතු පසුගිය සදුදා ආරම්භ කෙරුණද සැලකිය යුතු ළමයින් පිරිසක් පාසැල් පැමිණ සිටියේ නැහැ.

මේ අතර, දරුවන් කඩිනමින් සාමාන්‍ය ජීවන තත්ත්වයට හුරු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ එහිදී ළමයින්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.