ප්‍රාථමික අංශයේ දෙවන පාසල් වාරය අද ඇරඹේ

Monday, 13 May 2019 - 7:30

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AE%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
රජයේ පාසල්වල ප්‍රාථමික අංශය දෙවන වාරයේ අධ්‍යයන කටයුතු සඳහා අද (13) ආරම්භ වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සියලුම පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

ඒ අනුව පාසල් තුළ ඉගෙනුම් කටයුතු සහ ඇගයීම් ක්‍රියාවලි සාමාන්‍ය පරිදි සිදුකිරීමට ද බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අධ්‍යයන කටයුතු අතපසු වූ සති දෙකක කාලය සඳහා හිලව් සැසි නොපැවැත්වීමට තීරණය කර ඇති බැවින් සියළු විෂය කරුණු ආවරණය වන පරිදි වාර සටහන් සංශෝධනය කරන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත්තේ.

මීට අමතරව සිසුන්ගේ පැමිණීමේ යම් විෂමතාවක් මතුවුවද සාමාන්‍ය පරිදි කාලසටහන් අනුවම අධ්‍යයන කටයුතු සිදුකරන ලෙසට ද විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබෙනවා.

හය ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්තිවල දෙවන වාරයේ අධ්‍යයන කටයුතු පසුගිය සතියේ ආරම්භ කළද සිසුන්ගේ පැමිණීම පැවතියේ ඉතා දුර්වල මට්ටමකයි.

මේ අතර කොළඹ අඟරදගුරු පදවිය මගින් පරිපාලනය කරන කතෝලික පෞද්ගලික පාසල් විවෘත කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණය රටේ ආරක්ෂක තත්ත්වය මත විදුහල්පතිවරුන්ට සහ කොළඹ අඟරදගුරු පදවි පාසල් සාමාන්‍ය අධිකාරි අයිවන් පෙරේරා පියතුමන් යටතේ සිදුකිරීමට අවසර ලබාදී තිබෙනවා.

අඟරදගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ එඩ්මන්ඩ් තිලකරත්න පියතුමන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය සහ අවශ්‍යතා සැලකිල්ලට ගැනීමද, ප්‍රදේශයේ ආරක්ෂක අංශයේ සහයෝගය ලබාගැනීමද මෙහිදී අනිවාර්ය බවයි.