වයඹ පළාතටම පොලිස් ඇඳිරි නීතිය - සමාජ මාධ්‍ය තවදුරටත් අවහිරයි

Monday, 13 May 2019 - 17:32

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+-+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතටම පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන්  කළේ ප්‍රදේශයේ ආරක්ෂාව තවහුරු කරලීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

මේ අතර, ජාතීන් අතර ගැටුම් ඇති වන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පළ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නගරයේ ව්‍යාපාරිකයා මේ මස 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කළා.

ඊයේ හලාවත නගරයේ ගැටුමක් ද හට ගැනුණේ මෙම ව්‍යාපාරිකයා මුහුණු පොතෙහි පළ කළ අදාළ ප්‍රකාශය හේතුවෙන්.

පසුව හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර, අද අලුයම 4ට එය ඉවත් කෙරුණා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ හා හදිසි නීති රෙගුලාසි යටතේ සැකකරුට විරුද්ධව චෝදනා එල්ල කර තිබෙනවා.

කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොළ සහ දුම්මලසූරිය යන ප්‍රදේශවලට ද ඊයේ රාත්‍රියේ පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර, අද අලූයම 4 එය ඉවත් කෙරුණා.

කෙසේ වෙතත්, එම පොලිස් බල ප්‍රදේශවලට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර සහ කොබෙයිගනේ යන පොලිස් බල ප්‍රදේශ වෙත ද අද දහවල් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය පියවර ගත්තේ එම ප්‍රදේශවල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

කෙසේ වෙතත්, අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ගැටුම් පැතිර යාම වැළැක්වීම සඳහා වයඹ පළාතටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ බවයි.

ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වලට මෙරටින් ප්‍රවේශවීම අත්හිටුවීමට පියවර ගත් අතර, එය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර, සමාජ මාධ්‍ය හරහා අසත්‍ය සහ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රචාර සිදුකරන්නන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙනවා.

එහිදී වැරදිකරුවන් වන පුද්ගලයන්ට වසර 3ක සහ 7ක සිර දඩුවම් හිමි වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.