දිවයින පුරා යළි පොලිස් ඇඳිරි නීතිය - වයඹට සවස හයේ සිට සහ ගම්පහට රාත්‍රී හතේ සිට

Tuesday, 14 May 2019 - 17:18

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+-+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9%E0%B6%A7+%E0%B7%83%E0%B7%80%E0%B7%83+%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%84%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
ඊයේ සහ පෙරේදා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් පදනම් කරගනිමින් වයඹ පළාතට අද පස්වරු හයේ සිට හෙට උදෑසන හය දක්වා යළි පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ගම්පහ පොලිස් කොට්ඨාශයට අද පස්වරු හතේ සිට හෙට අලුයම හතර දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට අද රාත්‍රී 9 සිට හෙට අලූයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

මෙම නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 60 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් පිරිසට දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ද ඇතුළත්.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියට අත්අඩංගුවට ගැනුනු 14 දෙනෙකු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඔවුන් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්නද මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියේ අවශ්‍ය ස්ථානවලට ගුවන් හමුදා භට පිරිස් ගුවනේ සිට යොමු කරන බවයි.

එමෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන අවස්ථාවේදී ගුවනේ සිට ඡායාරූප ගැනීමටද නියමිතයි.

මේ වන විට හෙට්ටිපොළ, පසුවස්නුවර, කුලියාපිටිය සහ තෝරකටුව යන ප්‍රදේශවල සාමකාමී තත්ත්වයක් දක්නට ලැබෙන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, පවතින තත්ත්වය පිළිබද සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසක් කුලියාපිටිය සහ පඩුවස්නුවර යන ප්‍රදේශවල සංචාරයක නිරත වුණා.

එහිදි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවයි.

මේ අතර, නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් ද කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් එම කොට්ඨාශය වෙත භාරවීමෙන් අනතුරුවයි.

චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගත් බවත්, එම චෝදනා මේ වනවිට විමර්ශනයට ලක් කරමින් සිටින බවයි කොළඹ අපරාධ කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පසුගියදා මොහු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට තවත් පිරිසක් සමඟ විරෝධතාවක නිරත වුණේ වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මාරු කරන ලෙස ඉල්ලමින්.

එමෙන්ම මධ්‍යම පළාතේ සියලුම සුරාසැල් අද දිනය තුළ වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ කියා සිටියේ.

මේ අතර රජයේ පාසල් දෙවන වාරයේ අධ්‍යයන කටයුතු ආරම්භ වුවද, අද දිනයේත් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා.

පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වලට ප්‍රවේශවීම තවදුරටත් අත්හිටුවා තිබෙනවා.