ජනපති ආසියානු ශිෂ්ඨාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අද අමතයි

Wednesday, 15 May 2019 - 8:53

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
චීනයේ බීජිංහිදී ආරම්භ වන ආසියානු ශිෂ්ඨාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ඇමතීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ සංවර්ධනයට අදාළ ගිවිසුම් තුනකට ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන සහ චීන රජය ඊයේ අත්සන් තැබුවා.

එරට නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා, චීන ජනාධිපති ෂී ජින් පිං ද මුණගැසී ඇති අතර, එහිදී පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙන ඇති ආරක්ෂක විධිවිධාන පිළිබඳවද සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ජනාධිපතිවරයා සහ චීන ජනාධීපතිවරයා අතර මෙම නිල හමුව චීන ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවැත්වුණා.

මේ අතර, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකාවට ඕනෑම සහයක් ලබාදෙන බවට චීන ජනපති ෂී ජින් පිං, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සහතික වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ කටයුතු වෙනුවෙන් චීනයෙන් රුපියල් කෝටි 260 ක පරිත්‍යාගයක් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එමෙන්ම, රුපියල් කෝටි 150 ක වටිනාකමින් යුත් ජීප් රථ 100 ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත ලබාදීමට චීන ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබෙනවා.

ත්‍රස්තවාදය සහ අන්තර්ජාල අපරාධ මැඩලීමට අවශ්‍ය නවීන තාක්ෂණ උපකරණ මෙන්ම දැනුම මෙරටට ලබාදීමටද චීන ජනාධිපතිවරයා එකඟතාව පළ කළා.

දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගීතා වැඩපිළිවෙල ශක්තිමත් කිරීම, බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරුව පුළුල් කිරීමද මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

චීන ණය ආධාර යටතේ මෙරට සිදුවන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද නායකයන් දෙපල සාකච්ඡා කර ඇති අතර, සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් කඩිනමින් නිමා කිරීම තම අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම චීන ණය ආධාර යටතේ පොළොන්නරුවේ ඉදි කෙරෙමින් පවතින වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සෑම විටම අවංක මිතුරෙකු ලෙස තම රටට ලබාදෙන සහය චීන ජනාධිපතිවරයා විශේෂ ප්‍රශංසාවකට ද ලක් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.