ෂැංග්‍රිලා බෝම්බකරුගේ ඉඩමක් මාතලේ ප්‍රාදේශීය සභාවට පවරා ගැනීමේ යෝජනාවක් සම්මතයි

Wednesday, 15 May 2019 - 12:59

%E0%B7%82%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ෂැංග්‍රිල්ලා හෝටලයේ බෝම්බ ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදියාට අයත් මාතලේ - කැටවල - හතමුණගාල ප්‍රදේශයේ පිහිටි අක්කර 22ක ඉඩම රාජසන්තක කිරීමේදී එය මාතලේ ප්‍රාදේශීය සභාවට පවරා ගන්නා ලෙසට ඉදිරිපත් වූ යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබෙනවා.

පෙරේදා පැවති එම ප්‍රාදේශිය සභාවේ මහ සභා රැස්වීමට අදාල යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ එහි පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ විසින්.

දැනට ගම්මිරිස් වගා කර ඇති මෙම ඉඩම බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කළ නමුත් එහි තිබී කිසිවක් හමුවුණේ නැහැ.

කෙසේ වෙතත්, බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඞ් නමැති සැකකරු බෝම්බ පිපිරීමට මාස 06කට පමණ පෙර මෙම ඉඩමට පැමිණ ඇති බවට ද හෙලි වී තිබෙනවා.

අදාල යෝජනාව ඉදිරිපත් කළ මාතලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ ප්‍රකාශ කළේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල එක් රැස්වන කසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ඉඩමක් නොමැති බැවින් මොහුට අයත් ඉඩම ප්‍රාදේශීය සභාවට ලබා ගන්නා ලෙස යෝජනා කළ බවයි.

මේ අතර, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන්ට තාක්ෂණික සහය ලබාදීමේ චෝදනාව මත දැනට අත්අඩංගුවේ සිටින මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ආදිල් අමීස් නමැති සැකකරු අයි එස් ත්‍රස්ත සංවිධානය සමඟ පැවැත්වූ සබදතාවයන් පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ වසර 03ක් තිස්සේ නිරීක්ෂණය කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය සඳහන් කළේ එම ත්‍රස්ත සංවිධානයට එරෙහිව ඉන්දියාවේ විභාග වන නඩු දෙකක චෝදනා පත්‍රවල 24 හැවිරිදි අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුගේ නම ද සඳහන් වී ඇති බවයි.

ප්‍රහාරයෙන් පසු, ජාතික තවුහිත් ජමාත් සහ ජමාතේ මිල්ලාතේ ඊබ්‍රාහිම් යන සංවිධාන මෙරට තුල තහනම් කරන ලද අතර මෙම සැකකරු මොවුන් සමඟ සබඳතා පවත්වා ඇති බවද හෙලි වී තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු මෙම පුද්ගලයා සේවය කළ දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ මෘදුකාංග නිෂ්පාදන සමාගමක් ද පොලිසිය විසින් පරීක්ෂා කරනු ලැබුවා.