අනුලා විද්‍යාලයේ හිලව් සැසි ගැටළුවක්

Friday, 24 May 2019 - 13:00

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%80%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හිලව් සැසි නොපවත්වන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදී ඇති උපදෙස් නොතකා නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිවරිය රාත්‍රී කාලයේ සම්මන්ත්‍රණ පැවැත්වීමට සූදානම් වන බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා නගනවා.

මෙලෙස හිලව් සැසි පැවැත්වීම සඳහා වන සැලැස්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වුණා.

කෙසේ වෙතත්, අධ්‍යයන කටයුතු අතපසු වූ සති දෙකක කාලය සඳහා හිලව් සැසි නොපැවැත්වීමට තීරණය කර ඇති බැවින් සියළු විෂය කරුණු ආවරණය වන පරිදි වාර සටහන් සංශෝධනය කරන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබුණේ.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් හෙට සිට ජුලි මස 6 වන දා දක්වා සෑම සෙනසුරාදා දිනයකම රාත්‍රී 8.30 සිට පසුදින පෙරවරු 6 දක්වා රාත්‍රී විෂය ආවරණ සම්මන්ත්‍රණ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ බව එම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුන්ගේ දෙමව්පියන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද සඳහන්.

අදාළ ලිපියෙහි රාත්‍රී සම්මන්ත්‍රණයට අදාළ කාලසටහන ද දක්වා ඇති අතර, ආරක්ෂක සැලැස්මක් පිළිබදව ද එහි දක්වා තිබෙනවා.

එහි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ සම්මන්ත්‍රණ පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළම ආරක්ෂාව සඳහා දෙමව්පියන් 40 දෙනෙකු පමණ සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කරන බවයි.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පෙන්වා දෙන්නේ රාත්‍රී කාලයේ මෙම සම්මන්ත්‍රණ පැවැත්වීම තුළින් සිසුන් පීඩාවට පත්වන බවයි.

කෙසේ වෙතත්, අනුලා විද්‍යාලයේ විදුහල්පතිනී ජයනි ප්‍රසංගිකා, හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂවරයා සමඟ සිදුකළ සාකච්ඡාවක් අනුව ඊට වාචික අනුමැතිය ලබා ගත් බවයි.