කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහිව මව්වරුන් 119 කගෙන් පැමිණිලි

Tuesday, 28 May 2019 - 18:56

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+119+%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92
වෛද්‍ය පරිපාලකයින් මාධ්‍ය හමු කැඳවීමේදී සහ තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ පැවසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිිටිය පවසනවා.

ඉන් පරිබාහිරව කටයුතු කරන වෛද්‍ය පරිපාලකයින්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය කළේ.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි අත්අඩංගුවට පත්වීම සහ ඔහුට විරුද්ධව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා විසින් අද සයපුද්ගල විමර්ශන කමිටුවක් පත් කරනු ලැබුවා.

එහිදී විමර්ශනයක් සිදුකර නිරීක්ෂණ සහ නිර්දේශ සහිත මූලික විමර්ශන වාර්තාවක් සතියක් ඇතුළතද, ලබාගත් ප්‍රකාශ සහ ලිපිලේඛන සමඟ සම්පූර්ණ විමර්ශන වාර්තාවක් මාසයක් ඇතුළත ද ලබාදෙන ලෙසයි ලේකම්වරිය කමිටුවට දැනුම්දී ඇත්තේ.

තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනක් සිදුකරන ලෙසට ඇය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද දැනුම්දී තිබෙනවා.

මේ අතර සැකකාර වෛද්‍යවරයා මවකගේ ඇඳ ඉහපතක නම වෙනස් කර ළදරුවෙකු වෙනත් පාර්ශවයකට ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයා කළ පැමිණිල්ලක් පිළිබඳවද දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ.

මේ අතර, මෙම වෛද්‍යවරයාට එරෙහිව අද තවත් කාන්තාවන් 57 දෙනෙකු කුරුණෑගල රෝහලටත් 10 දෙනෙකු දඹුල්ල රෝහලට සහ දඹුල්ල පොලීසියටත් පැමිණ පැමිණිලි ඉදිරිපත් කළා.

ඊයේ දිනයේදී පමණක් කාන්තාවන් පනස් දෙදෙනෙකු පැමිණිලි කරමින් කියා සිටියේ මෙම වෛද්‍යවරයා සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන්ට දරු ඵල අහිමි වී ඇති බවයි.

ඒ අනුව ඔහුට එරෙහිව මේ වනවිට ඉදිරිපත්වී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 119 ක්.

වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි කිරීමට කාන්තාවන් රෝහලට පැමිණීමත් සමඟ අද කුරුණෑගල රෝහලේ දැඩි තදබදයක් ද හටගත්තා.

මේ අතර මෙම විමර්ශන කණ්ඩායමේ සාමාජිකයින් අද කුරුණෑගල මහරෝහල වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කිරීම සිදුකළා.

එහෙත් අදාළ විමර්ශන කණ්ඩායමට විරෝධය පළ කරන බවයි කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය කියා සිටියේ.

පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ නියෝජිතයින් රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාරට මීට අදාළව ලිපියක් භාරදුන්නා.

මේ අතර මෙම වෛද්‍යවරයාට විරෝධය පළ කරමින් අද කුරුණෑගල නගරයේ වෙළදසැල් වසා දමා නගර මධ්‍යයේ විරෝධතාවක් පැවැත්වුණා. ඊට වෙළදසැල් හිමියන් මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්ව සිටියා.