අදත් සාෆිට එරෙහිව පැමිණීලි 28 ක්

Monday, 03 June 2019 - 12:52

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B7%86%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%BD%E0%B7%92+28+%E0%B6%9A%E0%B7%8A
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ දැනට අත්අඩංගුවේ පසුවන සාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධයෙන් කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත මේ වනවිට පැමිණිලි 584 ක් ලැබී තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලට අද දිනයේ පැමිණිලි 28 ක් ලැබී ඇති අතර, ඒ අනුව මේ වනවිට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 505 ක්.

එමෙන්ම දඹුල්ල රෝහලටද අද දිනයේ කාන්තාවන් 14 දෙනෙකු පැමිණ පැමිණිලි ඉදිරිපත් කර තිබූ අතර, එම රෝහලට මේ වනවිට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 65 ක්.

වෛද්‍ය සාෆි ශිහාබ්දීන් තමන්ට සිදුකළ සිසේරියන් සැත්කම්වලින් අනතුරුව නැවත පිළිසිඳ ගැනීමක් සිදු නොවූ බව සහ විවිධ සංකූලතා මතුවූ බවටයි එම මව්වරුන් චෝදනා කළේ.

වෛද්‍ය සාෆි ෂිහාබ්දින් වෛද්‍යවරයා සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ සය පුද්ගල විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් තම සංගමයේ දැඩි අවධානයක් යොමුව ඇති බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

රෝගියාගේ කැමැත්ත නොමැතිව සිදුකරන  ඕනෑම ශල්‍යකර්මයක් වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනිවන බැවින් එවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි එහි දැක්වෙන්නේ.

මෙම සිදුවීම් මාලාව නිසා සෞඛ්‍ය සේවාව පිළිබඳ ජනතා විශ්වාසය පලූදුවීමට ඉඩ ඇති බවත්, මෙමඟින් ශ්‍රී ලංකාවේ මාතෘ සෞඛ්‍ය සේවාව සඳහා ඇතිවන බලපෑම පිළිබඳවත් තම සංගමයේ අවධානය යොමුව ඇති බවයි එම සංගමයේ සභාපති මහාචාර්ය අතුල කළුආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.  

මෙවැනි විමර්ශන සිදුකිරීමට තම සංගමයට නෛතික බලයක් නොමැති බව සිහිපත් කරන ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, මේ පිළිබඳව බලධාරීන් විසින් කඩිනම් හා පාරදෘෂ්‍ය විමර්ශනයක් සිදුකිරිමට කටයුතු කළ බව එමඟින් දක්වා තිබෙනවා.