නීතිපති, බැඳුම්කර වංචා විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි - අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 10 දෙනෙකුට අධිචෝදනා

Friday, 07 June 2019 - 14:59

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+10+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
භාණ්ඩාගාර බැඳුම්කර වංචාවේ චූදිතයන්ට එරෙහිව බස්නාහිර පළාත් බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීම සඳහා නීතිපති දප්පුල ද ලිවේරා අගවිනිසුරුවරයාගෙන් අද අවසර ඉල්ලා සිටියා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පැවසුවේ සිද්ධියේ සංකීර්ණ බව සහ බැරෑරුම් බව මෙන්ම රටේ ආර්ථිකයට එයින් සිදුවූ බලපෑම සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.

2015 වසරේ පෙබරවාරි 27 වැනිදා සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර වංචාව හේතුවෙන් පමණක් රජයට සිදු වූ පාඩුව රුපියල් හැට අට කෝටි 87 ලක්ෂ 62,100 ක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර තිබෙනවා.

2015 වසරේ පෙබරවාරි 27 වැනිදා සිදුවූ බැඳුම්කර වෙන්දේසියට පමණක් අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිට අධිචෝදනා සකස් කර තිබෙනවා.

ඊට අදාළ සෙසු විත්තිකරුවන් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී.සමරසිරි, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම, එහි හිමිකරු අර්ජුන් ඇලෝසියස්, ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, සභාපති ජෙෆ්රි ඇලෝසියස්, මිත්‍ර ගුණවර්ධන, රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ ගාර්දිය පුංචිහේවා යන අයයි.

මුහුණත වටිනාකම රුපියල් බිලියන 10,058 ක් වූ භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස අත්පත් කර ගැනීමට කුමන්ත්‍රණය කිරීම හා අනුබල දීම සම්බන්ධයෙන් සියළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කර තිබෙනවා.

එසේම, පළමු හා දෙවන විත්තිකරුවන් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ හිටපු නියෝජ්‍ය අධිපති පී.සමරසිරි යන දෙදෙනාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ පෙබරවාරි 27 වැනි දින පැවති බැඳුම්කර වෙන්දේසියේදී රජයට රුපියල් හැට අට කෝටි 87 ලක්ෂ 62,100 ක පාඩුවක් සිදුකර පොදු දේපළ පනත යටතේ සාපරාධී විශ්වාසය කඩ කිරීමයි.

රුපියල් බිලියන 05 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස අත්පත් කර ගැනීම සහ ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ වරදක් වන, අභ්‍යන්තර තොරතුරු භාවිත කර ලංසු තැබීම තුන්වැනි විත්තිකරු වන පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට එල්ල වී ඇති චෝදනා වනවා.

සෙසු සියළු විත්තිකරුවන්ට නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා එල්ල කර ඇත්තේ ඒ සඳහා අනුබල දීම යටතේයී.

පොදු දේපළ පනත යටතේ සහ ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ විත්තිකරුවන්ට එල්ල කර ඇති සමස්ත චෝදනා ගණන 23 ක්.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පැවසුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන මත පදනම්ව විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරන බවයි.

මෙරට ඉතිහාසයේ සිදුවූ දැවැන්තම සංවිධානාත්මක මූල්‍ය අපරාධය වන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීම සඳහා සාක්ෂි සටහන් දහස් ගණනක් අධ්‍යයනය කරමින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉතා වෙහෙසකර කාර්යයක නිරත වීමට සිදු වූ බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, බැඳුම්කර කොමිසම සිදුකළ විමර්ශ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන මත පදනම්ව ඉදිරියේදී තවත් පුද්ගලයින්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා බලාපොරොත්තු වන බවද රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළා.