ඒ 9 මාර්ගයේ රිය අනතුරකින් තුන්දෙනෙක් මරුට - ප්‍රදේශවාසීන් විරෝධතාවක (ඡායාරූප)

Saturday, 08 June 2019 - 9:39

%E0%B6%92+9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඒ 9 මාර්ගයේ - කැකිරාව - කොරොසගල්ල - තිබ්බටුවැව ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් ළමයින් තුන් දෙනෙකු මිය යාමත් සමඟ එම මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරතවුණා.

ඇහැලියගොඩ සිට අනුරාධපුරය දක්වා ලී කඳන් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක්, උපකාරක පන්ති සඳහා සහභාගිවීමට බලාපොරොත්තුවෙන් මාර්ගය අයිනේ සිටි සිසුන් සිව් දෙනෙකු යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් අවුරුදු 14, 15, 16, යන  වයස්වල පසුවන කොරොසගල්ල ප්‍රදේශයේ පදිංචි සිසුන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ 18 හැවිරිදි අනෙක් සිසුවා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ පාදයකට දැඩි හානි සිදු වී ඇති බවයි රෝහල් ප්‍රකාශයෙකු සඳහන් කළේ.  

සිද්ධියෙන් පසු පළා යමින් සිටි අදාළ කැබ්රථයේ රියදුරු අනතුර සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 25 දුරින් ඉපලෝගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගැනුණා.

ඔහු මෙන්ම කැබ් රථයේ සිටි තවත් 3 දෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලීසිය සඳහන් කළේ.  

54 හැවිරිදි කැබ් රථයේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුව බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් එම ස්ථානයේ ටයර් පුළුස්සමින් විරෝධතාවක් ආරම්භ කිරීමත් සමග ඇති වු උණුසුම් තත්ත්වය හේතුවෙන් ඒ 9 මාර්ගය - කොරොසගල්ල මංසන්ධියෙන් තාවකාලික වසා දැමීමට සිදු වුණා.

පසුව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ට නීතිිය ක්‍රියාත්මක කරන බවට පොලිසිය දුන් පොරොන්දුවත් සමග ප්‍රදේශවාසීන් විරෝධතාවය අවසන් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. 







ඡායාරූප - දඹුල්ල, කාංචන කුමාර