වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

Wednesday, 14 August 2019 - 8:18

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීම අද දිනයේ ද තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ගත වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර - කිරිඇල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එය මිලිමීටර් 194.5ක්. ගිලිමලේ ප්‍රදේශයට මිලිමීටර් 157.5ක සහ කළුතර - මොරපිටිය ප්‍රදේශයට මිලිමීටර් 140ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.

බස්නාහිර, දකුණු, සබරගමුව, උතුරුමැද, වයඹ, උතුර සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැයට කිලෝමීර් 60 දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි අතර පොතුවිල් සිට හම්බන්තොට, කොළඹ, පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ නිසා මුහුද රළු විය හැකි බැවින් එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීම අනතුරුදායක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියේ.

එමෙන්ම, නුවරඑළිය, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් සහිත ප්‍රදේශවලට අද පස්වරුවේ නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.

මේ අතර වර්ෂාපතනයත් සමඟ කළු, ගිං, කැළණි සහ නිල්වලා ගංඟා ආශ්‍රිතව ඊයේ පස්වරුවේ ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළ ද මේ වන විට එහි ජල මට්ටම් පහත යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතයි. නෝටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය ද තවදුරටත් වාන් දමමින් පවතින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.