පළාත් සභා මැතිවරණය, ජනපතිවරණය කල් යාමට හේතුවක් නොවේ - පැෆ්රල්

Friday, 16 August 2019 - 13:04

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B4%E0%B7%90%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A
පළාත් සභා මැතිවරණය පැවැත්වීම මැතිවරණ නීතියට අනුව කිසිදු අයුරකින් ජනාධිපතිවරණය කල් යෑමට හේතුවක් නොවන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

මැතිවරණ නීතියට අනුව ජනාධිපතිවරණය හා පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීමට හෝ ආසන්න දිනවලදී පැවැත්වීමට බාධාවක් නොමැති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සභා සියල්ලෙහිම නිල කාලය ඉක්ම ගොස් ඇති අතර, ඒ සියල්ල පාලනය කරනු ලබන්නේ පළාත් ආණ්ඩුකාරවරුන් විසින්.

සීමා නිර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නිල කාලය ඉක්ම වූ ඇතැම් පළාත් සභා මහජන නියෝජිතයන් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති කාලසීමාව මේ වනවිටත් අවුරුදු දෙකක් ඉක්මවා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, එළැඹෙන දෙසැම්බර් 07 වැනිදාට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන අතර, මේ වනවිට සමාජයේ ඒ පිළිබඳව පවතින්නේ උණුසුම් කතාබහක්.

ඒ අතරතුරදී සීමා නිර්ණ කමිටු වාර්තාවක් නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් සිදුකරනු ලැබුවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සභාපතීත්වයෙන් යුතු බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ජනාධිපතිවරයාගේ මෙම මත විමසුම විභාගයට ලක් කිරීමටයි අගවිනිසුරුවරයා තීරණය කරනු ලැබුවේ.

ඒ අනුව එළඹෙන 23 වන දා ජනාධිපතිවරයාගේ මෙම මත විමසුම පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලීමට නියමිතයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ ජනාධිපතිවරණ දිනයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් අවම වශයෙන් ඔක්තෝම්බර් මස 15 වැනිදා වනවිට එම මැතිවරණය පැවැත්විය යුතු බවයි.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ කොමිෂන් සභාව අතර මීට දින කිහිපයකට පෙරද ඉදිරි මැතිවරණ පිළිබඳ සාකච්ඡාවක් පැවැති අතර, එහිදී ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාව වැඩි නැඹුරුතාවයක් දක්වා නැහැ.

කෙසේ වෙතත්, අද වනවිට පවතින තත්ත්වය මත මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණයක් කැඳවීම කිසිදු ගැටළුවක් නොවන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියේ.