සුරතලී - 04 බෙංගාල බොක්කේ පාවෙයි

Monday, 02 September 2019 - 7:13

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B6%BD%E0%B7%93+-+04+%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වාලච්චේන ධීවර වරායෙන් මුහුදු ගිය සුරතලී - 4 බහුදින ධීවර යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

අගෝස්තු මස 17 වන දා මුහුදු ගිය එම යාත්‍රාව මුදා ගැනීමේ කටයුතුවලට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී ඇති බවයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් පිළිබද සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම කුඩාවැල්ල ප්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවර යාත්‍රාව පිළිබදව ද මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා නොවන බව ද ඔහු කියා සිටියා.

මේ දිනවල පවතින්නේ අවිනිශ්චිත කාලගුණ තත්ත්වයක් හේතුවෙන් ආරක්ෂිත උපකරණ සහ ජීවිතාරක්ෂක කබා භාවිතය පිළිබද අනිවාර්ය සැලකිල්ලක් දැක්විය යුතු බවයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් පිළිබද සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා වැඩිදුරටත් සඳහන් කළේ.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් යාපනයේ කච්චතිව් ප්‍රදේශයට නුදුරින් මුහුදේ අතරමංවූ ඉන්දීය ධීවර යාත්‍රාවක් ධීවරයින් හතරදෙනෙකු සමඟ නාවික හමුදාව ඊයේ බේරාගෙන තිබෙනවා.

උතුරු නාවික විධානය විසින් මුර සංචාරයේ යෙදුණු අතරතුර මෙම ටෝලර් යාත්‍රාව මුහුදේ පාවෙමින් තිබෙනු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි එහි සිටි පිරිස බේරාගෙන ඇත්තේ.

මොවුන් ආපසු සිය රට යැවීමට යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා පියවර ගැනෙනු ඇති.

මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට කන්කසන්තුරේ සහ මුලතිව් හරහා ත්‍රිකුනාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 55 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇතිවන විට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම් දෙනවා.