ටී 56 ගිනි අවි සමඟ යුධ හමුදාවේ දෙදෙනෙකු කුරුණෑගලදී අත්අඩංගුවට

Monday, 02 September 2019 - 8:48

%E0%B6%A7%E0%B7%93+56+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධීව ළඟ තබාගත් ගිනි අවි සමඟ කුරුණෑගලදී අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළා සහ එහි සිවිල් සේවකයා රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසනවා.

කෙසේ වෙතත් මෙම ගිනි අවි ළඟ තබාගත්තේ කුමන අවශ්‍යතාවක් සඳහාද යන්න සැකකරුවන් මෙතෙක් හෙළිකර නැහැ.

අද දිනයේ ඔවුන් යළි කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සෙබළා සහ යුද හමුදා සිවිල් සේවකයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී කුරුණෑගල - ගෝවා කොටුව මංසන්ධියේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා දිනයේදියි.

කුරුණෑගල - දාහිගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සෙබළා, බුත්තල යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අතර, 37 වන වියේ පසුවන පසුපැදිකරු වතුපිටිවල - විජයබා පාබල රෙජිමේන්තුවේ සේවය කරන කුරුණෑගල - කුඩාගල්ගමුව පබේජනපදය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

යතුරුපැදිය පැදවූ යුද හමුදා සෙබළා පරීක්ෂා කිරීමේදී ඔහු පැළඳ සිටි ජැකට්ටුවේ සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සහ පතොරම් සහිත මැගසීනයක් හමුවුණා.

නිල සුනඛයෙකු යොදවා පසුව මෙම සැකකරුවන්ගේ නිවෙස් පරීක්ෂා කර ඇති අතර එහිදී තවත් ටී 56 ගිනි අවියක්, ටී 56 ගිනි අවි පිරිසිදු කිරීමේ කට්ටලයක්, ඉතාලියේ නිෂ්පාදිත වායු රයිපලයක් ඇතුලු අවි ආයුධ සහ එම උපකරණ කොටස් පොලීසිය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.