ශනිල් නෙත්තිකුමාරට විදේශගතවීමට ඉල්ලූ අවසරය ඉල්ලා අස්කරගනී

Monday, 02 September 2019 - 14:02

%E0%B7%81%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂිකා අනීකා විජේසූරියගේ සොහොයුරාට තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ශනිල් නෙත්තිකුමාර තමාට විදෙස්ගතවීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මෝසමක් අද කොළඹ මහාධිකරණය දී ඉල්ලා අස්කර ගත්තා.

මෙම මෝසම ඉකුත් දා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ශනිල් නෙත්තිකුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ තම සේවාදායකයාට ඩුබායි හි පැවැත්වෙන ලෝක බලශක්ති කොංග්‍රසයේ සමුළුවට සහභාගිවීම සඳහා විදෙස්ගතවීමට අවසර දෙන ලෙසටයි.

ඊට නීතිපතිවරයා සිය විරෝධය පළ කළ අතර එහිදී විනිසුරුවරයා විත්තියේ නීතිඥවරයාට නියෝග කළේ විදෙස්ගතවීමට අවශ්‍ය කරන ඉල්ලිම තහවුරු කිරීමට පාදක වන කරුණු තිබේ නම් ඒවා සවිස්තරව අද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

ඒ අනුව මෙම මෝසම කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැදවූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාගේ පියා හදිසි ශල්‍යකර්මයකට භාජනය වී සිටින බැවින් මෙම අවස්ථාවේ විදෙස්ගත වීම පිළිබඳව ඉල්ලීමක් ඉදිරිපත් නොකරන බවයි.

ඒ අනුව අදාල මෝසම ඉල්ලා අස්කර ගැනීමට ඉඩ දෙන ලෙස අධිකරණයෙන් ඔහු ඉල්ලීමක් ද කළා.

පසුව මහාධිකරණ විනිසුරුවරයා එය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදුන් අතර නඩුව මේ මස 05 වනදා යලි කැදවනු ඇති.