සහරාන්ගේ දියණිය, බිරිඳගේ දෙමව්පියන් භාරයට

Monday, 02 September 2019 - 20:53

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ දියණිය ඔහුගේ බිරිඳගේ දෙමව්පියන් වෙත භාර දීමට අධිකරණය අද (02) නියම කළා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැදවූ අවස්ථාවේදීයි. සහරාන්ගේ දියණිය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවනවා.

එමෙන්ම, අධිකරණ නියෝගයකින් තොරව කිසිදු පාර්ශවයක් වෙත දියණිය ලබාදීමේ හැකියාවක් ද නොමැති බවටයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.

කල්මුණේ - සයින්දමරුදු නිවසේ පිපිරීම්වලින් තුවාල ලබා සිටියදී සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා සහ ඔවුන්ගේ අවුරුදු 4ක් වයසැති දියණිය වන මොහොමඞ් සහරාන් රුසෙයිනා රෝහල් ගත කෙරුණා.

ඉන් අනතුරුවයි ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබුවේ.

මේ අතර, මඩකලපුව - කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ වළදමා තිබියදී අධිකරණ නියෝගයක් මත ඊයේ යළි ගොඩ ගත් පාස්කු ඉරිදා සියොන් දේවස්ථානට ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්වාදියාගේ හිස සහ අනෙකුත් සිරුරු කොටස යළි සුදුසු ස්ථානයක තැන්පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් උදය කුමාර් ප්‍රකාශ කළා.

ඉදිරි දිනකදී ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් සිදුකර එය යළි තැන්පත් කරන ස්ථානය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අධිකරණ නියෝගයක් මත ගොඩ ගැනුණු මෙම ත්‍රස්තයාගේ හිස ඇතුළු සිරුරු කොටස් මේ වන විට මඩකලපුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.