ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ මැතිවරණය ඔක්තෝබර් 11

Monday, 02 September 2019 - 21:45

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+11
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය ඔක්තෝම්බර් මස 11 වන දා පැවැත්වෙනු ඇති බවට වාර්තා වනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට පසුගිය 30 වන දා නියෝග කළා.

ඒ, පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

එම නාම යෝජනා පත්‍රය පිළිගන්නා ලෙස ද එහිදී නියෝග කෙරුණා.

මේ අතර, පළාත් සභා සංශෝධන පනත යටතේ හෝ පෙර පැවති නීති යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

ඒ, ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව පිළිබදව කරුණු පැහැදිලි කරමින්.

සමාලෝචන කමිටු වාර්තාවක් නොමැතිව සංශෝධිත පනතේ විධි විධාන ප්‍රකාරව ඡුන්දය පැවැත්වීම සඳහා, සීමානිර්ණ කමිටුව විසින් අමාත්‍යවරයා වෙත භාර දී ඇති වාර්තාවේ සඳහන් සීමා මායිම් ප්‍රකාශයට පත්කිරීමේ බලයක්, ජනාධිපතිවරයා සතුව නොවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ජනාධිපති ලේකම්වරයා ඊයේ පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අදාළ සංශෝධන පනත යටතේ ඡන්දය පැවැත්වීමට නොහැකි නම් ඊට පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීමේ ඇති හැකියාව සම්බන්ධයෙනුයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබුණේ.

ඒ අනුව අදාළ සංශෝධනයට පෙර පැවති නීතිය යටතේ ද ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබෙනවා.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය නොවැම්බර් 10 සහ දෙසැම්බර් 8 වන දා අතර කාලය තුළ පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසම පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට අදහස් කරන අපේක්ෂකයින් පිළිබදව කොමිසම දැනුවත් කරන ලෙස ද එම ලිපියේ ඇතුළත් බවයි වාර්තා වන්නේ.