පක්ෂ සම්මේලනයේදී ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Tuesday, 03 September 2019 - 12:58

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පැවැත්වෙන එම පක්ෂ සම්මේලනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

තීන්දුව හරි අතට යන්න තේමා කර ගනිමින් එම පක්ෂයේ 68 වන මහා සම්මේලනය පස්වරු 2ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, ඊට සහභාගිවීම සඳහා දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් මේ වන විටත් පාක්ෂිකයින් රැසක් පැමිණෙමින් සිටින බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.

සම්මේලනය සඳහා එක්සත් ජාතික පක්ෂය හැර සෙසු දේශපාලන පක්ෂ රැසකට ආරාධනා කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ.

එහෙත් තම පක්ෂයට විධිමත් ලෙස ආරාධනාවක් සිදුකර නොමැති බැවින් ඒ සඳහා සහභාගි නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කියා සිටියා.

කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සඳහන් කළේ පක්ෂ සම්මේලනයට සහභාගි වන ලෙසට පොදුජන පෙරමුණට ආරාධනා පත්‍ර දෙකක් යොමු කළ බවයි.

පසුගිය දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා අද පැවැත්වෙන සම්මේලනය සම්බන්ධයෙන් කළ විමසීමකදී කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සහය දෙන තීරණයකට නිදහස් පක්ෂය එනු ඇති බවට තමන් සුබවාදී බලාපොරොත්තුවක සිටින බවයි.

මේ අතර, ඊයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු මෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජේලාල් ද සිල්වා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගැනීමට කලබල නොවිය යුතු බවයි.