හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති ත්‍රස්තයන් ගැන 97 වරක් දැනුවත් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණයක්

Tuesday, 03 September 2019 - 14:35

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+97+%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ත්‍රස්ත නායක සහරාන් හෂීම් ඇතුලූ කල්ලියෙන් ප්‍රහාර එල්ලවන බවට කළ අනතුරු ඇඟවීම් නිවේදන 97 ක් රාජ්‍ය බුද්ධි සේවය විසින් 2016 වසරේ සිට මේ වසරේ අප්‍රේල් 21 වනදා දක්වා කාලය තුළ ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට යොමු කර ඇති බව ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ප්‍රකාශ කළා.

ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලූ පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්, සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලූ අවස්ථාවේදියි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන එහිදී වැඩිදුරටත් සඳහන් කළේ එම නිවේදන රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශ සහ අනෙකුත් ලේඛනවලින් තහවුරු වී ඇති බවයි.

එමෙන්ම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා පමණක් නොව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සමස්ත කැබිනට් මණ්ඩලයද ජනතාවට සාමූහිකව වග කියන බවයි, එහිදි ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එම වගකීමෙන් කිසිවෙකුටත් බැහැරවිය නොහැකි බව අවධාරණය කළ ඔහු ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයාට පමණක් වගකීම බැර නොකළ යුතු බවද සඳහන් කළා.

මේ අතර තවත් පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අප්‍රේල් 21 වනදා රටේ ජනතාව තම ආගමික ස්ථානවලට සහ සෙසු පොදු ස්ථානවලට ගමන් කළේ රජය තමන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ආරක්ෂාව සපයනු ඇතැයි යන විශ්වාසය පෙරදැරිව බවයි.

එබැවින් රටේ ජනතාවගේ ආරක්ෂාව සැළසීමේ වගකීමෙන් මිදීමට රජයට කිසිදා නොහැකි බවද ඔහු සඳහන් කළා.

සෑම වසරකම අයවැයෙන් වැඩිම මුදලක් වැය කරනුයේ එම මූලික පරමාර්ථය සාක්ෂාත් කරගැනීම සඳහා මිස අන් කරුණකට නොවන බව ද නීතීඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා අධිකරණයේ කරුණු දක්වමින් සඳහන් කළේ එම ප්‍රහාරය එල්ලවිය හැකි බවට තමන් කිිසිදු පාර්ශවයක් දැනුවත් නොකළ බව හෝ ආරක්ෂක මණ්ඩලයට කැඳවීමක් නොකළ බව පවසා එය මැඩපැවැත්වීමට ඇති වගකීමෙන් කිසිදු ආරක්ෂක අංශ ප්‍රධානියෙකුට බැහැරවිය නොහැකි බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටද රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීමෙන් ගැළවිය නොහැකි බවද ඔහු  පෙන්වා දුන්නා.   

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වූ දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුලූ වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බල කරමින් ගොනුකර තිබූ මෙම පෙත්සම් 12 ට අදාළව පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම අදින් අවසන් වුණා.

හෙට දිනයේ නීතිපතිවරයා සහ වගඋත්තරකාර පාර්ශවයන් කරුණු දැක්වීමට නියමිතයි.