දොම්පෙ මහමග සායනික අපද්‍රව්‍ය හැලූ දෙදෙනා අල්ලයි

Wednesday, 04 September 2019 - 19:19

%E0%B6%AF%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%99+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මාළිගාවත්ත - ජාතික වකුගඩු රෝහලේ සායනික අපද්‍රව්‍ය දොම්පේ ප්‍රදේශයේ දමා ගිය ලොරි රථයේ රියදුරු සහ සහයක පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔවුන් දෙදෙනා අපද්‍රව්‍ය දැමූ ස්ථානයට කැඳවා එම අපද්‍රව්‍ය ඔවුන් ලවාම ලොරි රථයට පැටවීමෙන් අනතුරුව වීමද විශේෂත්වයක්.

දොම්පේ - පවුරුවෙල මාර්ගයේ නාගහහන්දිය ප්‍රදේශයේ දමා ගොස් තිබූ සායනික රෝහල් අපද්‍රව්‍ය තොගයක් අද උදෑසන ප්‍රදේශවාසීන් විසින් සොයාගනු ලැබුවා. පසුව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වූයේ ඒවා මාලිගාවත්ත, වකුගඩු රෝහලේ සායනික රෝහල් අපද්‍රව්‍ය බවයි.

මෙම සායනික අපද්‍රව්‍ය රැගෙන යාමට බාරදී ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට වන අතර ඔවුන් ඊයේ මෙම අපද්‍රව්‍ය තොගය රැගෙන කෑගල්ලට යන අතරතුරයි නාගහහන්දිය ප්‍රදේශයේ දමාගොස් ඇත්තේ.

අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු සහ රිය සහායක පොලීසියට සඳහන් කර ඇත්තේ රෝහල් සායනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා භාරගත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයේ හිමිකරුගේ අවශ්‍යතාව මත මෙලෙස එම අපද්‍රව්‍ය මහමග දමා ගිය බවයි. ඒ අනුව අදාළ ආයතනයේ හිමිකරුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි දොම්පෙ පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් අපද්‍රව්‍ය රැගෙන ආ ලොරි රථය සහ එම අපද්‍රව්‍ය අධිකරණයට ඉදිරිපත් කර ඉදිරිපත් ක්‍රියාමාර්ග ගන්නා බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.

දොම්පේ ප්‍රාදේශිය සභාවේ සභාපති මිලාන් ජයතිලක  සඳහන් කළේ අපද්‍රව්‍ය බැහැර කිරීමට ආණ්ඩුවට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් මෙලෙස මහමග කසළ බැහැර කරන තත්ත්වයක් අද වනවිට මතුව ඇති බවයි.