මාදම්පිටිය සිද්ධියට කුඩු රොෂාන් ඇතුලු 7 දෙනෙකු අත්අඩංගුවට

Thursday, 05 September 2019 - 11:15

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලු රංග සහ තවත් පුද්ගලයෙකු මාදම්පිටිය පොදු සුසාන භූමිය තුළදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රොෂාන් ඇතුලු හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත් පිරිසට ගම්පහ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන ශාමාල් චින්තකද ඇතුළත්.

පාතාල සාමාජික ආනමාලු රංග සහ මොහොමඩ් ඉම්රාන්, අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා පැමිණ සිටියදී  ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදුකර පළා ගොස් තිබුුණේ පසුගිය මස 16 වනදායි.

එදිනම සිද්ධිය සම්බන්ධයෙන් කුඩු රොෂාන්ගේ සහෝදරයෙකු ඇතුලු තුන්දෙනෙකු මට්ටකුලිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් අතර, ඊට පසුදින තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ වත්තල ප්‍රදේශයේදියි.

මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයින් දෙදෙනාට තියුණු ආයුධවලින් පහරදුන් පුද්ගලයා සම්බන්ධයෙන් ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකායට බුද්ධි තොරතුරක් ලැබී තිබූ අතර, ඒ අනුව වැල්ලම්පිටිය - වෙළේවත්ත ප්‍රදේශයේදී එම සැකකරුද අත්අඩංගුවට ගනු ලැබුවා.

මොහොමඩ් අරිෆ්  මොහොමඩ් හුසේන් හෙවත් ආජි නැමති මෙම පුද්ගලයාට මීට පෙර පුද්ගල ඝාතන 3 ක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තුද නිකුත් කර තිබූ බවයි වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඔහුගෙන් ලද තොරතුරකට අනුව ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රොෂාන් ඇතුලු අනෙක් පුද්ගලයින් හයදෙනා යක්කල ප්‍රදේශයේ හෝටලයක් තුළදී අත්අඩංගුවට ගත් අතර, එම ස්ථානයේ ගම්පහ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන ශාමාල් චින්තක ද සිට තිබෙනවා.

ඔහු සැකකරුවන්ට සැඟව සිටීම සඳහා අදාළ ස්ථානය වෙන් කර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඊට අමතරව අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අතරට කුඩු රොෂාන්ගේ තවත් සහෝදරයෙකු සහ ඥාතියෙකුද අයත්.

එසේම ඔවුන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයද පොලිස් භාරයට ගැනුනා.

එසේම කුඩු රොෂාන් සන්තකයේ තිබී  හෙරෝයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම්800ක් සහ රුපියල් 75,000 ක මුදලක්ද සොයා ගැණුනා.

මේ වනවිට ඔවුන් වැඩිදුර පරික්ෂණ සඳහා ග්‍රෑන්ඞ්පාස් පොලීසිය වෙත භාරදී තිබෙනවා.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කුඩු රොෂාන් දුරකථනය ඔස්සේ මෙම ඝාතන මෙහෙයවා ඇති බවයි දැනට සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

ඝාතනයට ලක්වූ ආනමාලු රංග නමැත්තා, 2016 වසරේ ඔක්තෝම්බර් මස 23 වනදා මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ චූටි උක්කුවා නමැති පාතාල සාමාජිකයාගේ ඥාතියෙකු වනවා.

ඔහු සමඟ එම අවස්ථාවේදී වෙඩි වැදීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ප්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන් නමැත්තාටයි.

අනතුරුව ඔහු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගත්තා.

කෙසේ වෙතත්, පැවති නඩු විභාගයෙන් අනතුරුව පසුගිය මාසයේදී මොහු ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය පියවර ගනු ලැබුවේ සාක්ෂි පරස්පරවීම හේතුවෙන්.