ත්‍රස්ත ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන් දැනුවත් නොකලේ ඇයි ? ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්න කරයි

Thursday, 05 September 2019 - 18:57

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරුදින එල්ල වීමට නියමිත ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව ඊට පෙර දින බුද්ධි අංශ පෙර දැනුවත් කිරීම් සිදුකර තිබියදීත් ඒ පිළිබඳව කාදිනල් හිමිපාණන් දැනුවත් නොකළේ මන්දැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් අද ප්‍රශ්න කළා.

ඒ, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් දොලහ අද යළි අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

එහිදී ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්නගෙන් විනිසුරු මඩුල්ල මෙම ප්‍රශ්න කිරීම සිදුකරනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දින සිදුකළ නියෝගයට අදාළව පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය කෙරෙහි සිය විරෝධය ලිඛිතව මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ බව නීතිපති දප්පුල ද ලිවේරා අධිකරණයට දැනුම් දුන්නා.

එහිදී සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නැගී සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටින නීතිඥ විරාන් කොරයා නීතිපතිවරයාගේ එම ලිඛිත විරෝධය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව අධිකරණයට දැනුම් දුන්නා.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ දිවුරුම් ප්‍රකාශයෙහි ද්වේශ සහගත කරුණු අන්තර්ගත බැවින් එය සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියද සිය සේවාදායකයාට එරෙහිව ඇති නඩුවකට අදාළව කරුණු දැක්වීම ඔහුගේ මූලික අයිතිවාසිකමක් බවද නීතිඥ විරාන් කොරයා වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී වගඋත්තරකාර පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇමතූ අගවිනිසුරුවරයා විමසා සිටියේ ඔහුගේ ප්‍රශ්න සහගත දිවුරුම් පෙත්සම වෙනුවට සංශෝධිත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් නීතිඥ විරාන් කොරයා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයාට වෙනත් අධිකරණවලද නඩු පවරා ඇති බැවින් අදාළ දිවුරුම් ප්‍රකාශයෙහි සංශෝධනයක් සිදුකළහොත් ඔහුට යම් අගතියක් සිදුවිය හැකි බවයි.

එහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය අවධාරණය කළේ අධිකරණය ඉදිරියේ  ඕනෑම පාර්ශවයක් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් නොකිරීමට වගබලා ගත යුතු බවයි.

සංශෝධිත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට සහ නීතිපතිවරයාගේ මෝසමට අදාළව විරෝධය දැක්වීම සම්බන්ධයෙන් සිය සේවාදායකයා වන අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් උපදෙස් ලබාගත යුතු බව මෙහිදී නීතිඥ විරාන් කොරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව කරුණු සලකා බැලූ සත් පුද්ගල විනිසුරු මඩුල්ල එම ස්ථාවරය එළැඹෙන 25 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළා.

ඉන් අනතුරුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දොලහේ දෙවන වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න විසින් කරුණු දැක්වීම ආරම්භ කරනු ලැබුවා.

එහිදී ඔහු සඳහන් කළේ සිය සේවාදායකයා දැරූ ආරක්ෂක ලේකම් ධූරය විශේෂ බලතල සහිත ධූරයක් ලෙස පෙනුනද එය මඟපෙන්වීමක් සහ පාලනය කිරීමක් යටතේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධූරය වැනි සාමාන්‍ය ධූරයක් බවයි.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන් සිය දිවුරුම් ප්‍රකාශය තුළින් ආරක්ෂක ලේකම්වරයාට බුද්ධි තොරතුරු පිළිබඳ කරුණු දැක්වීමක් සිදුකරන බව පවසා තිබුණද, ඔහු කිසි දිනෙක තම සේවාදායකයාට එවැනි කරුණු දැක්වීමක් සිදුකර නොමැති බවද නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව ඉන්දීය බුද්ධි අංශය විසින් අප්‍රේල් 04 වැනිදා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා පළමු වරට දැනුවත් කර ඇති බවද, ඔහු එම තොරතුරු පිළිබඳව අප්‍රේල් 07 වැනිදා හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර ඇති බවද මෙහිදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

සතිපතා පැවැත්වෙන බුද්ධි අංශ රැස්වීම අප්‍රේල් මස 09 වැනිදා පැවැත්වුණු බවත්, එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ලද බුද්ධි තොරතුර සාකච්ඡාවට ගන්නා ලෙස රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට දැනුම් දුන්නද ඔහු ඒ පිළිබඳව විශේෂ වාර්තාවක් සකස් කර පොලිස්පතිවරයාට සහ රහස් පොලීිසියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන බව පවසා ඇති බවත් නීතිඥවරයා කියා සිටියා.  

කෙසේ වෙතත්, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් සකස් කරන ලද එම ලිපිය තම සේවාදායකයා වෙත නොලැබුණු බව ද අප්‍රේල් 9 වන දින සිට අප්‍රේල් 20 වනදා දක්වාම, එම බුද්ධි තොරතුරු පිළිබද නැවත කිසිදු දැනුවත් කිරීමක් තමන්ට නොකළ බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී විනිසුරු බුනනෙක අලූවිහාරේ ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 9 වන දිනෙන් පසු නැවත බුද්ධි අංශ රැස්වීමක් සිදුවී නොමැති ද යන්නයි.

එහිදී නීතිපති දප්පුල ද ලිවේරා සත් පුද්ගල විනිසුරු මඩුල්ලට දන්වා සිටියේ අප්‍රේල් මස 16 වන දින බුද්ධි අංශ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබුණ ද හිටපු ආරක්ෂක ලේකම්වරයා දියතලාව ප්‍රදේශයට ගොස් ඇති බැවින් එය අවලංගු කර ඇති බවයි.

පසුව අප්‍රේල් මස 20 වන දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට යොමුකර ඇති වට්ස්ඇප් පණිවුඩ කෙරෙහි අධිකරණයේ අවධානය යොමුවුණා.

එහිදී ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට ප්‍රහාරයට පෙර දින යොමුකර ඇති වට්ස්ඇප් පණිවුඩය ඉදිරිපත් කරනු ලැබුවා.

විනිසුරු සිසිර ද ආබෲ, හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ සහරාන් හෂීම් ඇතුළු ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් අප්‍රේල් 21 හෝ ඊට පෙර දිනක රටේ  ඕනෑම ස්ථාන 8 කට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ හැකි බවට නිෂ්චිත තොරතුරු ලැබී තිබියදී ආරක්ෂක ලේකම්වරයා ලෙස ඒ සම්බන්ධයෙන් ගත් පියවර කුමක් ද යන්නයි.

එහිදී ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ එම වට්ස්ඇප් පණිවුඩය පොලිස්පතිවරයා ඇතුළු තවත් කිහිපදෙනෙකුට ද ලැබී ඇති බවයි.

නැවතත් ප්‍රශ්න කරමින් සිසිර ද ආබෲ විනිසුරුවරයා විමසා සිටියේ ප්‍රහාරයට පෙර දින ලැබූ වට්ස්ඇප් පණිවුඩයේ පල්ලි සහ හෝටල් ඉලක්ක විය හැකි බවට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සදහන් කර තිබියදී ඒ පිළිබදව කාදිනල් හිමිපාණන්ට දැන්වීමට පියවර නොගත්තේ මන්ද යන්නයි.

එසේම, එම තොරතුර පිළිබද එවකට රජයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස හමුදා ප්‍රධානීන් දැනුවත් නොකලේ මන්ද යන්නත් සිසිර ද ආබෲ විනිසුරුවරයා දැඩි ලෙස නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

මෙහිදී ජනාධිපති නීතිඥවරයා සදහන් කළේ අප්‍රේල් 9 වනදා ලද තොරතුරු පිළිබද ස්ථිර වශයෙන්ම නිෂ්චිත කර ගැනීමක් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් සිදුකර තම සේවාදායක වෙත දැනුම්දී නොතිබුණු බැවින් ඔහු ඒ සම්බන්ධයෙන් ක්‍රියා කර නොමැති බවයි.

ප්‍රහාරය එල්ල වූ දින උදෑසන ද රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් පෙරවරු 6 ත් 10 ත් අතර, ප්‍රහාර එල්ල විය හැකි බවට හිටපු ආරක්ෂක ලේකම්වරයාට දැනුම්දී ඇති බව අධිකරණයේදී හෙළි වූ අතර ඊට පෙර දින සවස නිට්ටඹුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂනයක් සම්බන්ධයෙන් ද හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර ඇති බව ද ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීමෙන් අනාවරණ වුණා.

එහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ප්‍රකාශ කළේ එවැනි සුළු කරුණක් සම්බන්ධයෙන් වුව ද රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර ඇති බව පෙනී යන බැවින් ප්‍රහාරය පිළිබද ලද තොරතුරු සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා පියවර නොගැනීම ගැටලූ සහගත බවයි.