එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ විශේෂ සාකච්චාවක් අද

Friday, 06 September 2019 - 8:24

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ඉදිරි ජනාධිපතිවරණය සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක්  සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව උදෑසන 10.30 ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසයි ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇත්තේ.
මෙම සාකච්චාවෙදී  ඉදිරියේදී ගොඩනැගෙන එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ කටයුතු සම්බන්ධයෙන්ද කතාබහට ලක් කිරීමට නියමිතයි.

සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් එම පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබාගැනීමක් සම්බන්ධයෙන්ද පක්ෂ නායකවරයාට පැමිණිලි කර ඇති බවට වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ කැබිනට් නොවන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අදාළ ලිපියට පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බවයි.
සජිත් ප්‍රේමදාස කුමන ආකාරයෙන් හෝ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගෙන අනිවාර්යයෙන්ම ජනාධිපති ධූරයට පත්වන බවත් එවිට පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකත්වය ඔහු වෙත පැවරෙන බවත් අදාළ කැබිනට් නොවන අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් වෙත පවසා ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, මෙම ලිපියට අත්සන් නොකරන්නේ නම් ඉදිරි මහ මැතිවරණයට නාමයෝජනා ලබාගැනීමට නොහැකි වනු ඇති බවටද ඔවුන් පසුපෙල මන්ත්‍රීවරුන්ට තර්ජනාත්මකව පවසා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පසුපෙල මන්ත්‍රීවරුන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත මාලදිවයින් සංචාරය අතරතුරදී දුරකතනය ඔස්සේ අමතා පැමිණිලි කර ඇති බවද එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ජනපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත් වූ තුන්වන ජනරැලිය ඊයේ කුරුණෑගල - සත්‍යවාදී ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.