පාන් මිල රුපියල් 2 කින් ඉහළට

Friday, 06 September 2019 - 15:10

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+2+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 යි ශත 50 කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගැනීමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් දෙකකින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් දෙකම තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති බවයි.

තිරිඟු පිටි මිල රුපියල් පහයි ශත 50 කින් ඉහළ දමන ලෙස පී‍්‍රමා සමාගම තමන්ට දැනුම් දුන් බව එම සමාගමේ අලෙවි නියෝජිතයින් ද තහවුරු කළා.

කෙසේ වෙතත්, පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ රුපියල් 87 ක උපරිම මිලක් නියම කර ඇති තිරිඟු පිටි වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක කරන බවයි.

තිරිඟු පිටි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තම අධිකාරියට තොරතුරු වාර්තා වී ඇති බවත්, උපරිම සිල්ලර මිලක් පනවා තිබියදී අවසරයකින් තොරව මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙලෙස වැටලීම් සිදුකරන බවත් එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා.

මේ අතර, උපරිම මිලක් නියම කර තිබියදී තිරිඟු පිටි මිල වැඩි කිරීමට කටයුතු කිරීම පාරිභෝගික කටයුතු අධිකාරී පනතට අනුව නීතිවිරෝධී බව පවසමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ලිපියක් මගින් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.