අගමැතිගේ ජනාධිපතිවරණ අපේක්ෂාව ගැන, සාකච්ඡාවට සජිත් පිළ හදිසියේ රැස්වෙයි

Saturday, 07 September 2019 - 13:20

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තමන් ජනාධිපතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන බවට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.

අද පස්වරුවේ අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සමුළුවෙන් පසු කොළඹ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ.

ඊයේ දිනයේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමඟ පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තෝරා ගනු ඇති බවයි.

වෙනත්  ඕනෑම අයෙකුට ජනාධිපතිවරණයට තරඟ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත එම නම යෝජනා කරන ලෙස ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

 මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර, තවත් තීරණාත්මක සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතයි.

එසේම ජයග්‍රහණය කළ හැකි අපේක්ෂයෙකු පක්ෂයෙන් ඉදිරිපත් කරන බවයි කෝට්ටේ ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළේ.

එසේම ඉදිරි ජනාධිපතිවරණයට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත්වීම සම්බන්ධව පළ වන වාර්තා පිළිබදව මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය රවී කරුණානායක සදහන් කළේ ‘‘හරි වෙලාවට හරි උත්තරය ලබාදෙන්නම්’’ යන්නයි.