එජාප දෙපාර්ශවයෙන් පරස්පර අදහස් - හෙට සාකච්ඡාවත් කල් යයි

Saturday, 07 September 2019 - 18:34

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+-+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදී පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා නොවූ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ සුදුසු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් පමණක් එහිදී සාකච්ඡා කළ බවයි.

කෙසේ වෙතත්, ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තමන්ට ඒ සදහා අයිතියක් ඇති බවත්, ජනාධිපතිවරණයේදී සියලූ දෙනාගේ සහය අපේක්ෂා කරන බවත් ඒ සදහා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර කැමැත්ත පවතින බවත්, අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කළේ යැයි එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියා.

වෙනත් කිසිවෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන්නේ නම් හෝ සිය තීරණය අභියෝගයට ලක් කරන්නේ නම් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පැවසූ බව වාර්තා වනවා.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තවදුරටත් පවසා ඇත්තේ තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස හම්බන්තොටින් ප්‍රචාරණ ජන රැලි ආරම්භ කරන අතර කිසිලෙසකින් හෝ තමන් ගත් තීරණය වෙනස් නොකරන බවයි.

කෙසේ වෙතත්, මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ තීරණයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු පිරිසක් අදහස් දක්වා ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා.  

මේ මොහොතේ ජනප්‍රියම අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස බැවින් ඒ පිළිබදව අවධානය යොමුකළ යුතු බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

එහෙත්, තවත් අමාත්‍යවරුන් පිරිසක් ඊයේ සාකච්ඡාවේදී ඊට විරෝධය පළ කර ඇති අතර, ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුුදුසුම පුද්ගලයා පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ බවට ඔවුන් යෝජනා කර ඇති බව ද වාර්තා වුණා.

මේ අතර, අදාළ සාකච්ඡාව අතරතුර අමාත්‍ය කබීර් හෂීම්ට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල දැඩි ලෙස දෝෂාරෝපණය කළ බව ද වාර්තා වුණා.

එහෙත්, අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට තහවුරු කළේ තමන් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බවයි.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හෙට පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාකච්ඡාව ලබන අගහරුවාදා දක්වා කල් දමා තිබෙනවා.

කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අග්‍රාමාත්‍යවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව අදාළ සාකච්ඡාව කල් ගිය බවයි.