සාලින්දගේ පුරප්පාඩුව ගැන ගැසට් නිවේදනය අද

Monday, 09 September 2019 - 12:55

%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 17 දෙනෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ස්වාධීනව ඉදිරිපත්වන බවට මේ වනවිට දැනුම්දී ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් සමඟ එම කොමිසන් සභාවේ දැන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ද සාකච්ඡාවට එක්ව සිටින අතර, එහිදී ලබන මස 11 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මේ අතර දිවයින පුරා සහකාර මැතිවරණ කොමසාරිස්වරු ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය හමුවුණා.

එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දිවයින පුරා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විශේෂ සාකච්ඡාවක් සඳහා ලබන 20 වනදා මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායකගේ අභාවයෙන් හිස්වූ මන්ත්‍රී ධුරය සඳහා පත් කරන නියෝජිතයාගේ නම අද පස්වරුවේ ගැසට් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එම නම තේරීම් භාර නිලධාරියා විසින් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත එවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් අද මැතිවරණ කොමිෂන් සභාව රැස්ව අනුමැතිය ලබාදීම සිදුකරන බවයි එම ප්‍රකාශකයා කියා සිටියේ.

අනතුරුව අදාළ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දැනුම් දෙනු ලබනවා.

මීට අමතරව අභාවප්‍රාප්ත නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීරගෙන් හිස්වූ මන්ත්‍රී ධුරය සඳහා දකුණු පළාත් හිටපු අමාත්‍යවරයෙකු වන මනෝජ් සිරිසේන පත් කිරීමට නියමිතයි.

ඊට අදාල ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති අතර එළඹෙන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ඔහු සහ සාලින්ද දිසානායක මන්ත්‍රීවරයාගෙන් පුරප්පාඩු වී ඇති ධුරය සඳහා පත් කෙරෙන මන්ත්‍රීවරයා කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති.

එමෙන්ම අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීරගේ අවසන් කටයුතු අද පස්වරුවේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.