අජිත් පී ගෙන් එජාප මහලේකම්ට අභියෝගයක්

Monday, 09 September 2019 - 12:57

%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂය විසින් කැදවා ඇති විනය පරීක්ෂණයට අදාළව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා පක්ෂ මහලේකම්වරයා වෙත අද ලිඛිත කරුණු දැක්වීමක් සිදුකළා.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදියි. පක්ෂ මහලේකම්වරයා ජනමාධ්‍ය වෙත දැනුම් දුන් පරිදි කිසිදු ලිපියක් තමන් වෙත ලැබී නොමැති බවත්, පක්ෂ ව්‍යවස්ථාව උල්ගංඝණය වන කිසිදු ක්‍රියාවක් තමන් සිදුකර නොමැති බවත්, කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා සිය ලිඛිත කරුණු දැක්වීමේ සදහන් කර තිබෙනවා.

හැකි නම්, එම චෝදනා සාක්ෂි මගින් ඔප්පු කරන ලෙස ද ඔහු පක්ෂ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත අභියෝග කළා.

කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහට ද පක්ෂ විනය කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති නමුත් ඔහු මෙතෙක් පක්ෂ මූලස්ථානය වෙත ලිඛිතව හෝ වාචිකව කරුණු දැක්වීමක් සිදුකර නැහැ.

ජනාධිපති ධුර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබදව පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි.

තමන්ට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබානොදුනහොත් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ඒ සඳහා ඉදිරිපත්වීමට සූදානමක් ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස යාපනය - වලිකාමම් ප්‍රදේශයේදී අද පිළිතුරු ලබාදුන්නා. එහිදී ඔහු කියා සිටියේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.

මේ අතර, හම්බන්තොට ලංකා ලූණු සමාගමේ සේවකයින් අද යළිත් වරක් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට විරෝධය පළ කරමින් එම සමාගම ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. අමාත්‍යවරයාගේ වුවමනාව මත දේශපාලන පත්වීම් ලබාදෙන බව පවසමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.