රනිල් ද ? සජිත් ද ? - තීරණාත්මක සාකච්ඡාව අද

Tuesday, 10 September 2019 - 7:36

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF+%3F+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF+%3F+-+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර ඍජු සාකච්ඡාව අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අදාළ සාකච්ඡාව අද පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔවුන් දෙදෙනා අතර සාකච්ඡාව පෙරේදා පැවැත්වීමට නියමිතව තිබුණත් එය අද දිනය දක්වා කල් දැමීමටයි පියවර ගෙන තිබුණේ.

කෙසේ වෙතත්,  මෙම සාකච්ඡාවට පෙර පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණ ගැසී ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස හට නොදෙන්නේ නම්, එය එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ දැඩි විරෝධයට හේතු විය හැකි බවයි.

මේ අතර, පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවටයි.

කෙසේ වෙතත්, එය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කොට අවසන් තීන්දුවකට එළඹෙන බව ද එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් යාපනයේදී පැවැත්වුණා.

එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් වූ බවටයි වාර්තා වන්නේ. මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එම්.ඒ. සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා ඇතුළු පිරිසක් එක්ව සිටියා.