රනිල්, සජිත් හමුවට තවමත් වේලාවක් නැහැ

Tuesday, 10 September 2019 - 13:08

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා නිශ්චිත වේලාවක් මෙතෙක් තීරණය කර නොමැති බව වාර්තා වනවා. දෙදෙනාම කාර්ය බහුලව සිටීම ඊට හේතුව බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එම සාකච්ඡාව අද රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයට සමීප ආරංචි මාර්ග කියා සිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුව දක්වාම අරලියගහ මන්දිරය තුල සහ ඉන් පිටත උත්සව කිහිපයකටම සහභාගි වන අතර, අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද අද රාත්‍රි 7 දක්වා විවිධ වැඩසටහන් වලට එක්වීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවට සහභාගි වුණා.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසදා ගැනීම සඳහා පෙරේදා නායකයින් දෙදෙනා අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් පසුව එය අද දිනය දක්වා කල් තැබීමටයි තීරණය වුණේ.  

මේ අතර, අද පැවැත්වෙන මෙම සාකච්ඡාවට කථානායක කරූ ජයසූරිය ද එක්වන බවට පළ වන වාර්තා අසත්‍ය බවයි කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් අතර හමුවක් ඊයේ යාපනය පෞද්ගලික හෝටලයකදී පැවැත්වුණා.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

ෆෙඩරල් ක්‍රමය මුල් කර ගනිමින් එකම රටක් තුළ දෙමළ ජනතාවගේ ගැටලූ වලට විසඳුමක් අවශ්‍ය බවයි ඊට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එ. සුමන්දිරන් ප්‍රකාශ කර ඇත්තේ.

එසේම, දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න ප්‍රකාශයට පත් කරනු  ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නිල වශයෙන් නම් කිරීමෙන්  අනතුරුව බව ද මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, තමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මුල් මාස හය තුළ දෙමළ ජනතාවගේ ගැටලූ විසඳීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ බවයි සාකච්ඡාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මීට අමතරව, තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එ සඳහා සුදුසු අපේක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට නොමැති නිසා බවත්, පක්ෂය ජයග්‍රහණය කිරීමේ අරමුණින් පමණක් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත්, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම තමාට ජනාධිපතිවරණය සදහා තරග නොකර සිටීමට හැකි බවත් එසේ වුවහොත් ඊට ඉදිරිපත් කරන්නේ කවුරුන්දැයි ගැටළුවක් පවතින බවයි ඔහු එහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ.