බ්ලූමැන්ඩල් සංඛ භාරවෙයි

Tuesday, 10 September 2019 - 13:30

%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලූ රංග සහ තවත් පුද්ගලයෙකු මාදම්පිටිය පොදු සුසාන භූමිය තුළදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රොෂාන් ඇතුලූ හත්දෙනා ලබන 19 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වාගේ නියෝගයකට අනුවයි. සැකකරුවන් එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසටයි නියෝග කෙරුණේ.

එසේම පුද්ගල ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන  සංඛ ශිරන්ත හෙවත් බ්ලූමැන්ඩල් සංඛ නීතිඥයෙකු මාර්ගයෙන් අද අධිකරණයට භාර වී තිබෙනවා.

ඒ අනුව ඔහු මේ මස 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හැඳින්වෙන බ්ලූමැන්ඩල් සංඛ පසුගිය මාර්තු මස ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු ඊයේ රාත්‍රි ඉන්දියාවේ සිට පැමිණීමෙන් අනතුරුව මෙලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුවයි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමෙන් පසු පසුගිය වසරේදී බ්ලූමැන්ඩල් සංඛ නීතිවිරෝධී අන්දමින් ඉන්දියාවට පැමිණ ඇති බවට එරට ආරක්ෂක අංශ අනාවරණ කරගෙන තිබුණා.