රනිල් - සජිත් හමුව රාත්‍රී 9 ට

Tuesday, 10 September 2019 - 20:32

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+9+%E0%B6%A7
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර තීරණාත්මක සාකච්ඡාව අද රාත්‍රි 9 ට පමණ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ අද සාකච්ඡාවේදී එළඹෙන තීරණ මත පදනම්ව ඇතැම් විට ඉදිරියේදී තවත් සාකච්ඡා සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද දිනයේ කාර්යබහුල වීම හේතුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන නිශ්චිත වේලාවක් අද පස්වරුව දක්වාම ප්‍රකාශයට පත්ව තිබුණේ නැහැ.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසදා ගැනීම සඳහා පෙරේදා නායකයින් දෙදෙනා අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් එයද අද දිනය දක්වා කල් තැබීමට තීරණය කෙරුණේ පැවති කාර්යබහුල තත්ත්වය හේතුවෙන් බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග අනාවරණ කළේ.

අද පැවැත්වෙන මෙම සාකච්ඡාවට කථානායක කරූ ජයසූරිය ද එක්වන බවට පළ වන වාර්තා අසත්‍ය බව කථානායක මාධ්‍ය අංශය කියා සිටියා.

එසේම මෙම සාකච්ඡාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දක්වන තවත් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු එක්වන බවට පළවන වාර්තා අසත්‍ය බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර විනය පියවර ගැනීමට ප්‍රථම ප්‍රතිචාර දක්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා විසින් සිදුකළ දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින් කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ බුද්ධිමය නොවන මෙන්ම වගකීම් විරහිත ලිපියක් තමා වෙත යොමු කිරීමට හේතුවූ කරුණු සහ එම ලිපිය යොමු කළ පුද්ගලයා හෝ පුද්ගලයින් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි.

එසේම තමන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට හේතුවූ කරුණු, පැමිණිලිවල පිටපත් තමා වෙත එවීමට කටයුතු කරන ලෙසද එහි දැක්වෙනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එවැනි ලිපියක් යොමු කිරීමේදී එය යොමු කරන්නේ පක්ෂ ව්‍යවස්ථාවේ කුමන නීති ප්‍රතිපාදනද මත යැයි දැනුම්දීමේ වගකීමක් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට පැවරී ඇති බවයි.