සජිත් කොමිසමට නොඑයි

Friday, 20 September 2019 - 7:32

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%91%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, 2015/2018 වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම වෙත අද දිනයේ පැමිණිය නොහැකි බව දන්වා තිබෙනවා.

ඒ, නිවාස සංවර්ධන අධිකාරියට විධිමත් නීත්‍යානුකූල ක්‍රමවේදයකින් තොරව සේවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව කොමිසම කළ කැඳවීමකට ප්‍රතිචාර දක්වමින්.

ඊයේ රාත්‍රි අටට පමණ කොමිසම වෙත ෆැක්ස් පණිවුඩයක් යොමුකරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අද දිනයේ කොමිසම වෙත පැමිණීම අපහසු බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න 2015/2018 වංචා ¥ෂණ සොයන ජනාධිපති කොමිසම හමුවේ අද දිනයේ පෙනී සිටීමේ හැකියාවක් නොමැති බැවින් එහි පෙනී සිටීම සඳහා මේ මස 25 වැනිදායින් පසු දිනයක් ලබාදෙන ලෙස එම කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අද දිනයේ අවස්ථා දෙකකදී විමර්ශන දෙකකට අදාළව ඔහු කොමිසම වෙත කැඳවා ඇති බවයි කොමිසමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හිටපු අධ්‍යක්ෂ සුසිත් සේනාරත්නගේ කාල වකවානුව තුළ සිදුව ඇතැයි කියන වංචා සම්බන්ධයෙන් පෙරවරු 09.30 ටත්, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත් ලෙස රජයට පවරා නොගෙන රජයේ මුදල් වැය කර ඇති බවට සිදුකෙරෙන විමර්ශනවලට අදාළව දහවල් 12.30 ට ඔහු කොමිසම වෙත කැඳවා තිබූ බව සඳහන්.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ කොමිසම වෙත දැනුම්දීමක් කරමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අද පෙරවරුවේ තමන්ට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමකට සහභාගිවීමට ඇති බැවින් කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවයි.

එමෙන්ම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බැවින් පස්වරුවේද කොමිසම හමුවේ පෙනී සිටීමට හැකියාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

අනිද්දා දිනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවකට සහභාගි වීම සඳහා තමන් විදේශගත වන බව සඳහන් කර ඇති සෞඛ්‍ය අමාත්‍යවරයා මේ මස 25 වැනිදායින් පසු දිනයක් තමන්ට ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත්, අදාළ ඉල්ලීම සලකා බැලූ කොමිසමේ සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ අද පස්වරු 04 ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෙත දැනුම්දෙන ලෙසයි.