දුම්රිය අකුරට වැඩ - කාර්යාල සේවකයින් රැසකට අපහසුතා

Friday, 20 September 2019 - 13:15

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+-+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8F
කොළඹ සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් සහ දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ මේ දක්වා කාලය තුළ කොළඹට පැමිණෙන සහ කොළඹින් පිටවන සියලූ දුම්රිය ධාවනය වී ඇත්තේ ප්‍රමාදවයි.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ අද උදෑසන කාලයේ පමණක් මෙලෙස ප්‍රමාද වී ධාවනය වූ දුම්රිය අතර කාර්යාල දුම්රිය 50ක් පමණ වන බවයි.

අද උදෑසන 5.55ට කොළඹ - කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රිය පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද වී ධාවනය වී තිබෙනවා.

කොටුව සිට  මහනුවර බලා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රිය පැය 04 ක පමණ කාලයක් ප්‍රමාද වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර, පිට පළාත්වල සිට කොළඹ - කොටුව දක්වා පැමිණෙන දුම්රිය නියමිත වේලාවට ගමන් ආරම්භ කල ද, සංඥා දෝෂය හේතුවෙන් මරදාන දෙසට පැමිණිමට නොහැකිව ආසන්න දුම්රිය ස්ථානවල නතර කිරීමට සිදුවුණා.

කැළණිවැලි මාර්ගයේ කොළඹ කොටුව දක්වා වන දුම්රිය ධාවනය ද බේස්ලයින් දුම්රිය ස්ථානය දක්වා සීමා කෙරුණු අතර, රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවයි වාර්තා වන්නේ.

මේ අතර, කොළඹ - නුවර මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වු දුම්රිය කිහිපයක් අද පෙරවරුවේ එඩෙරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ එක් මං තීරුවක නතර කර තිබෙනු දක්නට ලැබුණු බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම මුහුදුබඩ මාර්ගයේදී බෙලිඅත්ත, ගාල්ල සහ මාතර සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රිය කොම්පඤ්ඤවිදීය සහ කොල්ලූපිටිය යන දුම්රිය ස්ථාන අතර කොළඹ දෙසට වන මං තීරුවේ එක පෙළට නවතා තිබෙනු දක්නට ලැබුණා.

මේ හේතුවෙන් මගීන් දුම්රියෙන් බැස ප්‍රධාන මාර්ග වලට පිවිස බස්රථ වලින් සිය ගමන් පහසුකම් සලසා ගැනීමට කටයුතු කළ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, දුම්රිය ගමනාගමන අධිකාරි වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ මේ වන විට සංඥා දෝෂය යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

අද පස්වරුවේ දුම්රිය ධාවනය සාමන්‍ය පරිදි සිදුකිරිමට හැකිවනු ඇති බවයි ඔහු කියා සිටියේ.

සංඥා දෝෂය හේතුවෙන් ඇති වූ දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතින බව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ප්‍රකාශ කර සිටියා.

මේ අතර, දුම්රිය ප්‍රමාදය හේතුවෙන් කෝපයට පත් මගීන් පිරිසක් දුම්රිය රියදුරන්ට සහ කාර්ය මණ්ඩලයට පහරදීමක් සිදුකර ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ කැදවුම්කරු ඉන්දික දොඩංගොඩ ප්‍රකාශ කළා.

මේ අතර, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්තනෝමතිකව ක්‍රියාකරන බව පවසමින් සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය පාර්ලිමේන්තු වටරවුම අසල මේ වන විට විරෝධතාවක නිරත වනවා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන තදබදයක්ද පවතින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

ජාතික විද්වත් වියත් පවුර ද, සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය සමග එක්ව පාර්ලිමේන්තු වටරවුම අසල සිය විරෝධය දක්වනු ලැබුවා.