රනිල්, සජිත් හෙටත් හමුවෙයි

Saturday, 21 September 2019 - 19:26

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික සංඛ්‍යාව වැඩි කිරීමේ සූදානමක් පවතින බවට ද විවිධ වාර්තා පළව තිබුණා.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේදී කූඨ වැඩපිළිවෙළක් ගෙන යන්නේ නම් එය තරයේ හෙළා දකින බවයි එම පක්ෂයේ පසුපෙළ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රකාශ කළේ.

කෘත්‍යාධිකාරි මණ්ඩලයට නව සාමාජිකයින් බඳවා ගැනීමට සූදානමක් පවතින බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කෘත්‍යාධිකාරි මණ්ඩල පුරප්පාඩු සඳහා මේ මොහොතේ කිසිදු පත් කිරීමක් සිදු නොකරන බවයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර, සාකච්ඡාවක් හෙට දිනයේ සිදුවන බව එම පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් අද කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

කෙසේ වෙතත්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කර ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත යුතු බවයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මතය අනුව පමණක් ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගන්නේ නම් ඊට එකඟ විය නොහැකි බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය ප්‍රකාශ කළේ කල් නොයවා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කරවා අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මගින් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කිරීමේ සූදානමක් පවතින බවට රාවයක් පැතිර යන බැවින් එවැන්නකට එකඟ විය නොහැකි බවයි ජාතික හෙළ උරුමය පෙන්වා දෙන්නේ.