අභියාචනාධිකරණ නියෝගය මහේස්ත්‍රාත් අධිකරණය පිළිගනී. ඇවන්ගාඞ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු 08 දෙනාට නිදහස

Monday, 23 September 2019 - 10:16

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.+%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+08+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
ගාලු වරාය අසල මුහුදේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු අටදෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය දුන් නියෝගයේ පිටපතක් ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කර තිබුණා.

ඇවන්ගාඩ් සිද්ධියට අදාලව ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ මූලික විරෝධතාවයක් පිලිගනිමින් අභියාචනාධිකරණය පසුගිය 12 වනදා නියෝග කළේ මෙම නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමටයි.

ඒ අනුව ඇවන්ගාඩ් නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග හමුවේ පසුගිය 20 වනදා කැදවනු ලැබූ අතර අභියාචනාධිකරණ නියෝගයේ පිටපතක් ලැබී නොමැති බැවින් එය ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිවරයාට දැනුම් දෙමින් මෙම නඩුව අද දක්වා කල් දැමුවා.

මේ අතර ඇවන්ගාඩ් නඩුවේ අටවන විත්තිකාරිය ලෙස නම් කර සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මේවනවිට අධිකරණය මඟහැර විදේශගතව සිටින බැවින් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්ද මීට පෙර නිකුත් කර තිබුණා.

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායිකාව නිදහස් කිරීමට අධිකරණය විසින් තීරණය කර ඇති බැවින් ඇය වෙනුවෙන් නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැදවන ලෙසද ඉල්ලා සිටියා.

එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ අදාල විත්තිකාරියට දැනටමත් වරෙන්තුවක් නිකුත් කර ඇති බැවින් ඇය නිදහස් කරනු ලැබූවද නැවත අධිකරණය හමුවේ පෙනී සිට වරෙන්තුව ආපසු කැදවා ගැනීමට පියවර ගන්නා ලෙසටයි.  

අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ නඩුවට පෙනී සිටීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකු අධිකරණයට පැමිණ සිටි අතර අනෙත් හතර දෙනා වෙනුවෙන් නීතිඥවරුන් ඉදිරිපත් වූ බවයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපතිවරුන් තුන්දෙනෙකු වන සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා සහ ඇවන්ගාඩ් සමාගමේ නිශ්ශංක සේනාධිපති, පාලිත පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බණ්ඩාර යන අයට එරෙහිවයි මෙම නඩුව ගොනුකර තිබුණේ.