නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළට

Monday, 23 September 2019 - 19:41

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%92%E0%B6%82+%E0%B6%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
දිවයිනට බස්නාහිර, දකුණ සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරි වලාකුළු පද්ධතියක් වර්ධනය වීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට මිලිමීටර 200 ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගාල්ල - වදුරඹ - කොකාවල කන්ද නාය යාමෙන් නිවසක සිටි 36 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති අතර, ඇගේ දරුවන් තුන් දෙනා බේරා ගැනීමට හැකි වී තිබෙනවා.

නාය යාමෙන් තවත් නිවසකට හානි සිදුවුණා.

එම නිවසේ සිටි කාන්තාවක් ද එහිදී බරපතල තුවාල ලැබූ අතර, ඇයව ඇතුළත් කෙරුණේ කරාපිටිය ශික්ෂණ රෝහලටයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කෑගල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක 3 නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි.

මේ අතර, නිල්වලා ගඟ - පානදුගම ප්‍රදේශයෙන් සුළු ගං වතුර මට්ටම ඉක්මවා ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා මාලා අලවතුවල කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කළු සහ ගිං ගංගාවල ජල මට්ටම මේ වනවිට ඉහළ යමින් පවතින බවයි.

මේ අතර, පවතින අධික වැසි හේතුවෙන් අකුරැස්ස - කඹුරුපිටිය මාර්ගය ලේනබටුව ප්‍රදේශයෙන් ද මුලටියන - කඹුරුපිටිය මාර්ගය මාකඳුර ප්‍රදේශයෙන් ද, මාතර - කොටපොල මාර්ගය රන්සෑගොඩ - මාකඳුර ප්‍රදේශයෙන් ද ජලයෙන් යටවී තිබෙනවා.

ජලය බැස යාම සඳහා නිල්වලා ගඟෙහි මෝය පුළුල් කිරීම ද අද සිදුකෙරුණා.

කොළඹ නගරයට අද දහවල් සිට ඇද හැලෙන වැසි හේතුවෙන් නගරයේ මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර, දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර කියා සිටියේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට සහ අනිද්දා යන දෙදින තුළ වසා තැබීමට තීරණය කර ඇති බවයි.