පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවේ - නිල්වලා, කළු, ගිං, ගං වතුර මට්ටම දක්වා ඉහළට

Tuesday, 24 September 2019 - 13:00

%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F%2C+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%2C+%E0%B6%9C%E0%B7%92%E0%B6%82%2C+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාතේ පුද්ගලයන් දස දහසකට ආසන්න පිරිසක් පීඩාවට ලක්ව ඇති බව වාර්තා වනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11ක පුද්ගලයන් 9592 කු ජල ගැලීම හේතුවෙන් පීඩාවට ලක්ව ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ සඳහන් කළේ.

ඉන් වැඩිම පිරිසක් හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වාර්තා වන අතර, ගාල්ල - කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයන් 2000ක් ගං වතුරෙන් බලපෑමට ලක්වූවන් අතර වනවා.

මේ අතර, වදුරඹ - කොකාවල කන්ද නාය යාමෙන් 36 හැවිරිදි කාන්තාවක් ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ අර්ධ හා පූර්ණ හානිවලට ලක්වු නිවාස සංඛ්‍යාව 66ක් බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, මාතර දිස්ත්‍රික්කයේ ද ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 340 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, වාර්තා වූ අර්ධ නිවාස හානි සංඛ්‍යාව 86ක්.

ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 3.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කටුනායක ප්‍රදේශයටයි.

එය මිලිමීටර් 219.1ක්. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ වදුරඹ, හියාරේ, හික්කඩුව, යක්කලමුල්ල යන ප්‍රදේශවලට ද වැඩි වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

පවතින අධික වැසි තත්ත්වයත් සමඟ නිල්වලා, ගිං, සහ කළු ගංඟාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නිල්වලා ගඟේ ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් මහ ගං වතුර මට්ටම දක්වා වර්ධනය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.

ගිං සහ කළු ගංඟාවල ජල මට්ටම ඉහළ යාම නිසා බද්දේගම, බෝපෙ - පෝද්දල, නාගොඩ, තවලම, නෙළුව, අගලවත්ත, බුලත්සිංහල, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවල ජනතාව අවදානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා මාතර, කඩවත් සතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අතුරලිය, අකුරැස්ස, පිටබැද්දර සහ වැලිගම යන ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවදානයෙන් සිටින ලෙසයි දැනුම් දෙන්නේ.

මේ අතර, ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් හා මාර්ග අද උදෑසන ජලයෙන් යට වූ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේ වන විට එම වැසි වතුර ක්‍රමයෙන් බැස යමින් පවතින බවයි.

ආමර් වීදිය, කොටහේන - බ්ලූමැන්ඩල් පාර, ජින්තුපිටිය මංසන්ධිය, කිරුළපණ - හයිලෙවල් මාර්ගය හා දෙමටගොඩ ප්‍රදේශයේ මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යට වුණා.

මීට අමතරව බියගම, කොළොන්නාව හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පහත් බිම් රැසක් මේ වන විට ජලයෙන් යට වී තිබෙනවා.

මේ අතර, කෑගල්ල, ගාල්ල, කළුතර, රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවලට පනවා ඇති නාය යාමේ අනතුරු ඇගවීම හෙට පෙරවරු 10 දක්වා දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.

අධික වැසි තත්ත්වය හමුවේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල නිවාස 8000ක පමණ විදුලිය මේ වන විට විසන්ධි වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ වැලිපැන්න පිටවුම ජලයෙන් යටවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කොක්මාදූව පිටවුම ජලයෙන් යටවීම නිසා වැලිගම සහ අකුරැස්ස දෙසට රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි.

එසේම, වැලිපැන්න - පිටවුම ජලයෙන් යටවීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මතුගම දෙසට ගමන් කිරීමට බාධාවක් නොවන අතර, අලුත්ගම දෙසට ගමන් ගන්නා වාහනවලට වැලිපැන්න පිවිසුම භාවිත නොකර දොඩම්ගොඩ පිවිසුම ඔස්සේ ගමන් ගන්නා ලෙසයි දැනුම් දෙන්නේ.

මීට අමතරව මාතර සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන මතුගම දෙසට ධාවනය කිරීමේදී වැලිපැන්න පිටවුම භාවිත නොකර කුරුඳුගහහැතැප්ම හෝ දොඩම්ගොඩ පිටවුම ඔස්සේ මතුගමට පිවිසිය හැකියි.

වර්ෂාවත් සමඟ මාර්ගය ලිස්සන සුළු බැවින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙන්ම, සෙසු මාර්ගවල ද රථ වාහන ගමන් කිරීමේදී වේග සීමාව පැයට කිලෝමීටර් 60 සීමාවේ පවත්වාගෙන යන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම් දෙනවා.

මේ අතර, උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බැවින් වර්ෂාව හේතුවෙන් සිසුන්ට බාධා එල්ල වී ඇත්නම් ඒ පිළිබදව වෙනත් දිනයක් ඉල්ලුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර, අද දිනයේ කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පැවති බව වාර්තා වනවා.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියළු පාසල් වලට අද සහ හෙට නිවාඩු ලබාදීමට පියවර ගැනුණා.

එසේම, පවතින අධික වර්ෂාව හේතුවෙන් පැය 3කට පෙර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ලෙස එහි පාලනාධිකාරිය මගීන්ට දැනුම් දෙනවා.

වර්ෂාව පැවතිය ද ගුවන් ගමන් කටයුතුවලට එමගින් බලපෑමක් සිදුවී නොමැති බවයි ඔවුන් කියා සිටියේ.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More