ඉදිරි පැය 36 තුළ පළාත් තුනකට මිලිමීටර 200 ඉක්මවූ තද වැසි

Tuesday, 24 September 2019 - 16:59

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+36+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB+200+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල කළ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට රාත්‍රිය තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වලට මිලිමීටර 200 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මිලිමීටර 272.3 ක් වන උපරිම වර්ෂාපතනය වාර්තාවී ඇත්තේ කටුනායක ප්‍රදේශයෙන්.  

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට එක් අයෙකු මියගොස් කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පුද්ගලයින් 45,091 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, ඔවුන් ආරක්ෂිත ස්ථාන 16 ක රඳවා සිටින බවයි ආපදා කළමණකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේ්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 22 කට සම්පූර්ණයෙන් හානි සිදුවුණා. අර්ධ හානි සංඛ්‍යාව 282 ක්.

මේ අතර කෑගල්ල, ගාල්ල, කළුතර, රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවලට පනවා ඇති නාය යාමේ අනතුරු ඇගවීම හෙට පෙරවරු 10 දක්වා දීර්ඝ කළ  බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

එසේම තවදුරටත් කළු, ගිං, නිල්වලා යන ගංඟාවල සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන්ද, ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන්ද, නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන්ද ගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.  

මේ අතර ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් බද්දේගම ප්‍රදේශයේ නිවාස 100 ක් පමණ ජලයෙන් යටවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කළා.

බද්දේගම, ගනේගම දකුණ ප්‍රදේශයේ නිවාස කිහිපයක් මතට ගල් පෙරළීමෙන් එම නිවාසවලට හානි සිදුව ඇති අතර, ඒ ආශ්‍රිත නිවාසවල ජනතාව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් නියාගම, පබළුව, පිටිගල සහ උතුරු පිටිගල ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර, අවිත්තාව, වළල්ලාවිට, කොස්කැටිය සහ බෝතලාව යන ප්‍රදේශ ආශ්‍රිත මාර්ග කිහිපයක්ද ජලයෙන් යටවී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

එසේම පවතින අධික වර්ෂාව හේතුවෙන් පැය 3කට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ලෙස එහි පාලනාධිකාරිය මගීන්ට දැනුම් දෙනවා.

වර්ෂාව පැවතිය ද ගුවන් ගමන් කටයුතුවලට එමගින් බලපෑමක් සිදුවී නොමැති බවයි ඔවුන් කියා සිටියේ.

ඇදහැලෙන අධික වර්ෂාව සැළකිල්ලට ගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය ධාවනය කිරීමේදී පැයට කිලෝමීටර 60 ක උපරිම වේගයක් පවත්වාගෙන ප්‍රධාන විදුලි පහන් දල්වා රිය ධාවනය කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

අද පෙරවරුවේ ඇද හැලූනු අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ ස්ථාන රැසක්ද ජලයෙන් යටවුණා.

එසේම දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලූ පාසල් හෙටත් වසා තැබීමට නියමිතයි.

ඉදිරි පැය 36 ක කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි බවයි ඉදිරි කාලගුණ තත්ත්වය පැහැදිළි කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක හා ආපදා සහන නිලධාරීන් 150 දෙනෙකු කළුතර, ගාල්ල සහ මාතර පොලිස් කොට්ඨාශ වෙත යොමුකර තිබෙනවා.

එසේම කිමිදුම් පුහුණුව ලැබූ නිලධාරීන් 50 ක්ද අවශ්‍ය ස්ථාන වෙත යොමුකිරීමට පොලිස් නාවික කොට්ඨාශය සූදානම්ව සිටින බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

එම කොට්ඨාශය සතු යාත්‍රා 50 ක් සහ ඔරු 35ක්ද ආපදා තත්වයන් පවතින ප්‍රදේශවලට යොමුකර තිබෙනවා.

හදිසි ආපදා තත්ත්වයන් 011 2 587 229 සහ 011 2 454 576 යන පරිසර නාවික ආපදා කළමණාකරණ දිසාවේ දුරකථන අංක වෙත දැනුම්දිය හැකියි.

මීට අමතරව අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැළසීම සඳහා ප්‍රදේශ කිහිපයක නාවික හමුදා කණ්ඩායම්ද යොදවා තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, බද්දේගම, උඩුගම, පෝද්දල, ඉමදූව, නාගොඩ සහ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වළල්ලාවිට ප්‍රදේශවලට මෙන්ම මාතර - අකුරැස්ස ප්‍රදේශයටද මෙලෙස සහන කණ්ඩායම් යොදවා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එසේම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා, ආපදා කළමනාකරණ අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ අදාළ අංශවල නිලධාරීන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැදවා තිබුණා.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා ලෙසයි. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන ලබාදීමේදී ප්‍රතිපාදන ගැටළුවක් කර නොගන්නා ලෙසද ජනාධීපතිවරයා එහිදී සඳහන් කළා.

ඉදිරි මාස දෙකක කාලය තුළ වැසි තත්ත්වය පැවතිය හැකි බව මෙහිදී අනාවරණ වුණු අතර, ඊට මුහුණදීම සඳහා සැලසුම්සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

මේ අතර වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින දකුණු පළාතේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට කටයුතු කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරයා පළාත් ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී අදාළ මුදල් පළාත් ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදීමට නියමිතයි.