පරිපාලන සේවා වර්ජනයෙන් රාජ්‍ය ආයතනවල කටයුතු තවදුරටත් අඩාලයි - රෝහල් සුළු සේවකයනුත් වර්ජනයේ

Wednesday, 25 September 2019 - 13:15

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
රජයේ පරිපාලන සේවා සංගමය, විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව, තාක්ෂණික වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සහ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සිදුකරන වර්ජනය හේතුවෙන් රෝහල් සහ රාජ්‍ය ආයතන රැසක දෛනික කටයුතු අඩාල වී තිබෙනවා.

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් පරිපාලන සේවා සංගමය ඊයේ මෙම වර්ජනය ආරම්භ කළා.

වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවද අද පෙරවරුවේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම තාක්ෂණික වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතනවල තාක්ෂණික කටයුතු කිසිවක් සිදුනොවන බවයි එම වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරු අමරසිරි කැටපේආරච්චි කියා සිටියේ.

වැටුප්, උසස්වීම් සහ බදවා ගැනීම් ඇතුළු කරුණු 12ක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවද අද පෙරවරු 8 සිට පැය 4 ක කාලයක් සංකේත වර්ජනයක නිරත වුණා.

මෙම වර්ජනය නිසා, රෝහල්වල සායනික සහ වාට්ටුවල කටයුතුවලට ද බාධා එල්ල වූ බවයි වාර්තා වන්නේ.

මෙම වර්ජනයට රජයේ ගිලන්රථ රියදුරන්ද එක්ව සිටියා.

කෙසේ වෙතත් සිය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමඟ පැවති සාකච්ජාවේදී ධනාත්මක පිලිතුරක් ලැබුණු බවයි එහි කැදවුම්කරු සුසිත් අරුණසිරි ප්‍රකාශ කළේ.

මේ අතර කොටුව දුම්රියපළ ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ගෙන් හතර දෙනෙකු තවමත් මාරාන්තික උපවාසයේ නිරත වනවා.

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ ද එය තමන් මියගිය පසු බිරින්දෑවරුන්ට ද හිමිවිය යුතු බවයි සත්‍යග්‍රහයට එක්ව සිටින රණවිරුවන් ප්‍රකාශ කළේ.

ඊයේ අමාත්‍ය මණ්ඩල ඉදිරිපත් කළ සංදේශය මගින් එම වැටුපට හිමිකම් කියන ආබාධිත රණවිරුවා මියයාමෙන් පසු ඔහුගේ බිරිඳට හෝ වයස අවුරුදු 26 ට අඩු දරුවන් සිටීනම්, ඔවුන්ට අදාල වැටුප හිමිකර දීමට ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස යෝජනා කර තිබූ නමුත්, මුදල් අමාත්‍යාංශයේ සංශෝධන අනුව කැබිනට් අනුමැතිය හිමිවූයේ ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් වැටුප් ලබාදීමට පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළා.