ගාල්ලේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

Wednesday, 25 September 2019 - 13:21

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+100+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද උදෑසන 6.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ - හියාරේ ප්‍රදේශයටයි.

එය මිලිමීටර් 106 ක් වන අතර, ලබුගම ප්‍රදේශයට මිලිමීටර් 104 ක් ද, ගාල්ල - ඇත්කඳුර ප්‍රදේශයට මිලිමීටර් 103 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

එසේම, ගාල්ල - වදුරඹ ප්‍රදේශයට මිලිමීටර් 101 යි දශම 5 ක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කළේ.

මේ අතර, ඊයේ සහ අද වසා දැමුණු ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට සහ අනිද්දා යන දිනවල ද වසා තැබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර කියා සිටියේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක පවුල් 20,815 කට අයත් පුද්ගලයින් 80,000 කට වැඩි ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටිනවා.

වර්ෂාවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටයි. නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටවී තිබෙනවා.

මාතර - වැලිගම මුදූගමුව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ රාත්‍රියේ පස් කන්දක් කඩා වැටී ඇති අතර, ඒ හේතුවෙන් තමන් අපහසුතාවන්ට ලක්ව ඇති බවයි නිවෙස් හිමියා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට කටයුතු කර ඇති බවයි ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කළේ.

කළුතර දිස්ත්‍රික්කයේ ද පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටවී තිබෙනවා.

කළු ගඟේ - මෝයකට පුළුල් කිරීමත් සමඟ ජලය බැස යමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කර්නල් ප්‍රදීප් කුලසේකර සඳහන් කළේ.

එමෙන්ම, අත්තනගලුඔය පිටාර ගැලීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 10,000 කට වැඩි සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

පවතින වර්ෂාපතනයත් සමඟ කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, මුල්ලේරියාව, මාලිගාවත්ත, මීතොටමුල්ල යන ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවී තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කළුතර, කෑගල්ල, ගාල්ල, රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවලට පැනවූ නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම, වර්ෂාවත් සමඟ දියඇලි නැරඹීමට යාමෙන් වළකින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ.

මීට අමතරව, මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාපතනයත් සමඟ කාසල්රී සහ මාවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කලේ ගිංගඟ - බද්දේගම ප්‍රදේශයෙන් ද අත්තනගලුඔය - දූනමලේ ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතින බවයි.

මීට අමතරව, කළු ගඟේ - මිල්ලකන්ද ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර, නිල්වලා ගඟ, පානදුගම ප්‍රදේශයෙන් මහ ගංවතුර තත්ත්වයක් දක්වා පැමිණ ඇති බවයි.

කිසියම් ආපදා තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳව දැනුම්දීම සඳහා තොරතුරු ලබාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ දුරකථන අංක දෙකක් ද දැනුම්දී තිබෙනවා.

ඒ අනුව, 0112 58 72 29 හෝ 0112 45 45 76 යන දුරකථන අංක අමතා ලබාදීමේ හැකියාව පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ.