අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Wednesday, 25 September 2019 - 16:07

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වැටුප් විෂමතා ගැටළුව මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති පවසනවා.

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් මනුර පීරිස් කියා සිටියේ තම වැටුප් විෂමතා ගැටළුවට රජය විසඳුමක් ලබාදෙන තුරු අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන්, අධීක්ෂකවරුන් සහ රියදුරන් එක්වන බව සඳහන්.

එසේම අද පස්වරුවේ තැපැල් දුම්රිය ධාවනය කිරීමද අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි දුම්රිය වෘත්තිය සමිති වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවද වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් අද සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළා.  

එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සිය ගැටලූව සම්බන්ධයෙන් රජය නිසි විසදුමක් ලබාදෙන තුරු මෙම අඛණ්ඩ වර්ජනය සිදු කරන බවයි.

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් රජයේ පරිපාලන සේවා සංගමය ආරම්භ කළ වර්ජනයට අදට දින 15ක් ගත වනවා.

කෙසේ වෙතත් එම සංගමයේ මහා සභා රැස්වීමේදි තීරණය කර ඇත්තේ යළි ලබන සදුදා දින සිට සිය ගැටලූවලට විසදුම් ලැබෙන තෙක් වර්ජනයක් ආරම්භ කිරිමටයි.

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ කොළඹ අද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ආණ්ඩුවට රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා ගැටලූ විසඳීමට සතියක කාලයක් ලබා දෙන බවයි.

එසේ විසදුම් ලබාදීමට කටයුතු නොකළහොත් විධායක නිළධාරින් සිදු කරන අඛණ්ඩ වර්ජනයට සහයෝගය දැක්විමට තීරණය කළ බවයි එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා සඳහන් කළේ.

එමෙන්ම තාක්ෂණික වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සහ  සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද සංකේත වර්ජනයක නිරත වුණේ සිය වැටුප් ඇතුළු වෘත්තිය ගැටලූ රැසකට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින්.

අද දිනයේ රජයේ පරිපාලන සේවා සංගමය, විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඇතුළු වෘත්තිය සම්ති රැසක් සිදු කළ වර්ජන හේතුවෙන් රෝහල් සහ රාජ්‍ය ආයතන රැසක දෛනික කටයුතු අඩාල වූ අතර, මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වුණා.

මේ අතර ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ සේවක සංගමය එම අමාත්‍යාංශය ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණේ මණ්ඩලයට නව බඳවා ගැනීම් සිදු නොකර මෑන් පවර් සේවකයින්ගේ සේවය ස්ථිර කිරිම ඇතුළු ඉල්ලිම් 03ක් මුල් කරගනිමින්.