වර්ජනයෙන් දුම්රිය ගමන්වාර 174ක් අවලංගුයි

Thursday, 26 September 2019 - 13:07

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BB+174%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92
වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන් අඩාලවී තිබෙනවා.

මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන්, අධීක්ෂකවරුන් සහ රියදුරන් එක්ව සිටින අතර, දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් මනුර පීරිස් කියා සිටියේ ගැටළුවට විසඳුම් ලැබෙන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

වර්ජනය හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන් වාර 174 ක් පමණ අවලංගු කෙරුණු අතර, කාර්යාල දුම්රිය 6 ක් පමණක්  ධාවනයට එක්කර තිබුණා.

කෙසේ වෙතත් කොළඹ කොටුවේ සිට කිසිදු දුම්රියක් ධාවනයට එක්කර තිබුණේ නැහැ.

වර්ජනය හේතුවෙන් එදිනෙදා කටයුතු සඳහා පැමිණි ජනතාව මෙන්ම රැකියා සඳහා පැමිණි පිරිසද අපහසුතාවට පත්වුණා.  

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද පස්වරුවේ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර වැටුප් විෂමතා ඇතුලූ ඉල්ලීම් 6 ක් මුල් කරගනිමින් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති 30 ක්  ආරම්භ කළ වර්ජනය හේතුවෙන් දිවයින පුරා පාසල් කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

කොළඹ රාජකීය විදුහලේ හැර අනෙකුත් සියලූ පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීම සියයට 10 කට වඩාත් අඩු මට්ටම පවතින බවයි වාර්තාවන්නේ.

ළමයින්ගේ පැමිණීමේද විශාල අඩුවක් දක්නට ලැබෙන අතර, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ හෙට දිනයේදීත් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

වතුකරයේද විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් වර්ජනයට සහය දක්වමින් තැපැල් කාර්යාල වෙත ගොස් විදුලි පණිවුඩ මගින් සිය අසනීප නිවාඩු ලිපි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යොමුකර තිබුණා.  

මේ වනවිට ගුරු වෘත්තිය සමිති කිහිපයක් කොටුව - දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක නිරතවන අතර, ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිිරිපිටට පැමිණීමට නියමිතයි.

ඒ හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ ආරම්භ කළ වර්ජනය අදත් ක්‍රියාත්මකයි.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා දියත් කර ඇති වර්ජනය හේතුවෙන් සෑම  රාජ්‍ය ආයතනයකම විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිදුකරන රාජකාරි කටයුතු සිදු නොවන අතර, ඉදිරියේදී ගුවන් සේවා කටයුතුවලටද වර්ජනයෙන් බලපෑම් එල්ලවිය හැකි බවයි එම කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි කියා සිටියේ.

මේ අතර අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වර්ජනයට අදට දින 16 ක් ගතවනවා. මේ හේතුවෙන් සියලූ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.