දුම්රිය වර්ජනය තවදුරටත් - ගුරුවරුන් අදත් ලෙඩින්

Friday, 27 September 2019 - 7:30

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන්, අධීක්ෂකවරුන් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ඊයේ දිනයේ කාර්යාල දුම්රිය ගමන්වාර 12 ක් පමණක් ධාවනය වූ බවයි.

වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ සියළු තැපැල් දුම්රිය අවලංගු කෙරුණු අතර, මගීන් දැඩි දුෂ්කරතාවන්ට ලක්වුණා.

මේ අතර, වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුලූ ඉල්ලීම් 06 ක් මුල් කරගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දමා සිදු කරන වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි.

මේ අතර, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වර්ජනය 18 වන දිනටත් අද ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් ප්‍රකාශ කළා.

පරිපාලන සේවා නිලධාරීන් ආරම්භ කළ සීමිත වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය ද අද දිනයේ ක්‍රියාත්මක කෙරෙන අතර, තම ගැටළුවට විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන සඳුඳා සිට රාජකාරීවලින් ඉවත්ව වර්ජනයේ නිරත වන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර, වැටුප් ගැටලූවට විසඳුම් ඉල්ලා කොටුව දුම්රියපල ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත ආබාධිත රණවිරුවෙකු ඊයේ දහවල් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරුණා.

එමෙන්ම, වැටුප් ගැටලූවට විසඳුම් ඉල්ලා අබාධිත රණවිරුවන් සිදුකරන සත්‍යග්‍රහයට තවත් අබාධිත රණවිරු බිරින්දෑවරුන් පිරිසක් ද ඊයේ එක්වුණා.