රටින් පළා ගොස් සිටි ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂක ප්‍රධානියා කටුනායක දී අත්අඩංගුවට

Friday, 27 September 2019 - 10:35

%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඇවන්ගාඩ් සමාගමේ සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ විශ්වජිත් නන්දන දියබලනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපළ ඒකකය මගින් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා.

සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

රාජගිරිය - කලපළුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහුට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ගුවන් ගමන් තහනමක් ද නිකුත් කර තිබියදීයි මෙලෙස විදෙස්ගතව සිට ඇත්තේ.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලික විමර්ශනවලින් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සැකකරු ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 8 වන සැකකරු වන අතර, ඉන් 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

තවත් සැකකරුවන් තුන් දෙනෙකු ඇප මත මුදා හරිනු ලැබුවා.

බලපත්‍ර නොමැති ගිනි අවි 816ක් සහ ලක්ෂ 2කට අධික ජීව පතොරොම් ද  සමඟ අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් නෞකාව මේ වන විට ගාලු වරායේ නැංගුරම්ලා තිබෙනවා.

ඊට අදාළව නීතිවිරෝධී ලෙස පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් වන නඩුව මේ වන විට විභාග කෙරෙන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේයි.