බැසිල්ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Friday, 27 September 2019 - 13:09

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් මුද්‍රණය කර බෙදා හැරීමේ සිද්ධියට අදාලව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ පවරා ඇති නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණා.

ඒ, එම අභියාචනා පෙත්සම ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද විභාග කළ අවස්ථාවේදියි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම හරහා රජයට රුපියල් දෙකෝටි 94 ලක්ෂයක් පාඩු කළ බව පවසමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.

ඒ අනුව එම නඩුව තවදුරටත් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ විභාගයට ගැනෙනු ඇති.