දුම්රිය අදත් නැහැ - ගුරුවරුන් දෙවන දිනටත් ලෙඩ වෙයි

Friday, 27 September 2019 - 13:18

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වැටුප් විෂමතා ගැටලුවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය හේතුවෙන් මගීන් අද දිනයේත් දැඩි අපහසුතාවයට පත්වුණා.

දෛනිකව දුම්රිය ගමන්වාර 376 ක් සිදුකළද අද දිනයේ මේ දක්වා ධාවනය කර ඇති මුළු දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 10 ක්.

දුම්රිය ගමනාගමන අධිකාරි වී. එස්. පොල්වත්තගේ සඳහන් කළේ නිලධාරි මට්ටමේ පිරිස් යොදවා කාර්යාල දුම්රිය සේවා අද දිනයේත් ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ - කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත අද දිනයේ එක් ඉන්ධන දුම්රියක් ධාවනය කළ බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් වර්ජනයේ නිරත දුම්රිය රියදුරු නියාමක, ස්ථානාධිපතිවරු, පාලක, අධීක්ෂණ කළමනාකරණ, ඇතුළු දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළේ තම ගැටලුවට මේ දක්වා රජයෙන් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

සති අන්තයේ ගම්බිම් බලා යන මගී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අද දිනයේ අතිරේක බස් රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා.

දුම්රිය වර්ජනයට සමගාමීව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩුද මේ වනවිට අවලංගු කර තිබෙනවා.

එමෙන්ම, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ජනක මල්ලිමාරච්චි සඳහන් කළේ අද දිනයේ කාලසටහන්වලින් බැහැරව මගී අවශ්‍යතාවය අනුව බස් රථ ධාවනයට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර, කොළඹ කොටුව දුම්රිය පල ඉදිරිපිට පැවත්වෙන ආබාධීත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට සමාගාමීව පැවැත්වෙන මාරාන්තික උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි.

මාරාන්තික උපවාසය සඳහා අබාධිත රණවිරුවන් පස්දෙනෙකු සහ රණවිරු බිරින්ඳෑවරුන් සිව් දෙනෙකු ද එක්ව සිටිනවා.

ඊයේ උපවාසයේ නිරතව සිටියදී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු රණවිරුවා මේ වනවිට වාට්ටු අංක 05 වෙත මාරුකර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

තමන්ට හිමි වැටුප සිය මරණයෙන් අනතුරුව භාර්යාවට හෝ පවුලේ ඥතියෙකුට ලබාදීමට රජය කටයුතු කරන තෙක් අඛණ්ඩව තම විරෝධතා ක්‍රියාමාර්ගය සිදුකරන බව රණවිරු අයිතිවාසිකම් සුරැකිමේ ජාතික බලවේගයේ සභාපති යු.ඩී.වසන්ත ප්‍රකාශ කළා.

මේ අතර, ගුරු - විදුහල්පතිවරුන් ඊයේ ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි.

ඒ හේතුවෙන් අද දිනයේත් දිවයිනේ බොහෝ පාසල්වල සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.