ඇතින්නියන්ගේ මරණ පරීක්ෂණ අවසන් - හේතුව තවමත් අභිරහසක්

Sunday, 29 September 2019 - 18:57

%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
හබරණ - හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් 6 දෙනාගේ සහ වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදුකෙරුණා.

එමෙන්ම, මෙලෙස මිය ගිය තවත් වන අලි සිටින්නේ ද යන්න සොයා වනජීවි නිලධාරීන්, යුද හමුදාව සහ පොලීසිය ඇතුළු කණ්ඩායම් 10ක් එක්ව අද දිනය පුරා රක්ෂිතයෙහි දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළත්, එහි තිබී කිසිවක් හමුවූයේ නැහැ.

මෙම මෙහෙයුමට දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන්, පරිසර සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරකයින් ද එක්ව සිටි නමුත්, අලි මිය යාමට හේතුව තවමත් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.

ඇතින්නියන් 3 දෙනෙකුගේ සහ අලියෙකුගේ සිරුරු පෙරේදා සොයාගත් අතර, තවත් ඇතින්නියන් තුන් දෙනෙකුගේ සිරුරු තුම්බිකුලම රක්ෂිතයේ තිබී සොයා ගත්තේ ඊයේ දිනයේදියි.

පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ඇතින්නියන්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත ද යොමු කෙරුණේ කිසියම් විෂක් ශරීරගත වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි.

මේ, අද පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ සඳහන් කළේ මිය ගිය සතුන්ට ආහාර සමඟ කිසියම් විෂක් ලබාදුන්නේ දැයි සැක කිරීමට තරම් සාධක නොමැති බවයි.

අභිරහස් ලෙස මෙම ඇතින්නියන් මිය යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවීමත් සමඟ කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙහි වගකීම රජය භාර ගන්නා බවයි.

කෙසේ වෙතත්, පරිසරවේදී ශෂිකලන රත්වත්තේ කියා සිටියේ රජය වගකීම් භාර ගත් පමණින් ගැටළුවලට විසඳුම් නොලැබෙන බවයි.

මේ අතර, පින්නවල අලි අනාථාගාරයේ ප්‍රතිකාර ලබමින් සිටි තිස්ස රජමහා විහාරයේ සමන් හස්ති රාජයා අද මිය ගොස් තිබෙනවා.

53 වියේ පසුවන සමන් හස්තියා 2018 වසරේ ප්‍රතිකාර සඳහා පින්නවල අලි අනාථාගාරයට භාර දී ඇති අතර, මෙම සත්ත්වයාගේ මිය යාම පිළිබදව විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන් ප්‍රකාශ කළේ අලියා මිය යාම සම්බන්ධයෙන් තමන් වහන්සේට සැකයක් පවතින බවයි.