වර්ජනවලට විසඳුම් සොයන කැබිනට් අනුකමිටුව පස්වරුවේ රැස්වේ

Monday, 30 September 2019 - 12:43

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
මේ දිනවල පැවැත්වෙන වර්ජනවලට විසඳුම් ලබාදීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී පළමු වරට රැස්වීමට නියමිතව තිබෙනවා.

පසුගිය සිකුරාදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම අනු කමිටුව පත් කළ අතර, ඊට මුදල් අමාත්‍ය මංගල සමරවීර  ඇතුලූ ඇමතිවරුන් පස්දෙනෙකු ඇතුළත්.

ඒ අනුව මේ වනවිට වර්ජන දියත් කර ඇති දුම්රිය, පරිපාලන සේවා ඇතුලූ වෘත්තිය සමිති නියෝජිතයින්  මෙම කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් වැටුප් විෂමතා මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය පස්වන දිනටත් ක්‍රියාත්මක අතර, මේ හේතුවෙන් අද පෙරවරුවේ ධාවනය කිරීමට හැකිවී ඇත්තේ කාර්යාල දුම්රිය 12 ක් පමණයි.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 3 ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රියක් මෙලෙස ධාවනය කෙරුණු අතර, මහව, කුරුණෑගල, ගම්පහ, හලාවත ආදී ප්‍රදේශවල සිට අනෙක් දුම්රිය ධාවනය කර තිබෙනවා.

කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් අද දිනයේත් මගීන් අපහසුතාවට පත්වුණා.

මේ අතර වර්ජනයට සමගාමීව විශ්‍රාමික නිලධාරීන් යළි සේවයට එක් කරගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අනුව විශ්‍රාමික දුම්රිය නිලධාරීන් කිහිපදෙනෙකු අද සේවයට පැමිණ තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය නියාමකවරුන් පිරිසක් එලෙස සේවයට පැමිණ ඇති අතර, කෙසේ වෙතත් දුම්රිය රියදුරන් පැමිණ නොසිටි බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් වර්ජන සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට පත් කර ඇති අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත අද පස්වරු 3 ට දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින්ද කැඳවා ඇති බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියා.  

මෙම රැස්වීමේදී තම ගැටළුවට විසඳුම් ලබා දුනහොත් වර්ජනය අත්හිටුවීමට පියවර ගන්නා බවයි ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් කියා සිටියේ.

මේ අතර පෙර දැනුම් දුන් පරිදි අද දිනයේ වර්ජනයක නිරත නොවූවද පසුගිය 12 වනදා සිට ආරම්භ කළ සීමිත වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට දක්වා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

වර්ජනය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කැබිනට් අනුකමිටුව සමඟ අද පස්වරුවේ තම සංගමයටද සාකච්ඡාවකට කැඳවා ඇති බවයි එම සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා සඳහන් කළේ.

අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වර්ජනයට අදට දින 21ක් ගතවන අතර, අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සමඟ අද පැවැත්වෙන සාකච්ඡාවට තම වෘත්තිය සමිතියට ආරාධනා කර නොමැති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් කියා සිටියා.

මේ අතර වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ සේවකයින් පිරිසක් අද එක්දින සංකේත වර්ජනයක  නිරතවනවා.

ඒ, තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින්.

එමෙන්ම කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තයේ සිට ඉන්ධන බෙදාහැරිම සිදුකරන පෞද්ගලික ටැංකි රථ රියදුරන් සහ රිය සහයකවරුන්ද අද පෙරවරුවේ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ ටැංකි රථවල අමතර රෝදය සහ ගිනි උපකරණ ඉවත් කර කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයට ඇතුලූවන ලෙසට ලබාදී ඇති නියෝගයකට එරෙහිවයි.